බංගලාදේශ නාවික හමුදාවට අයත් ‘සොමුද්‍රා අවිජාන්’ නෞකාව සුහද සංචාරයක් සඳහා අද (සැප්තැම්බර් 07) කොළඹ වරායට සේන්දු වී තිබෙනවා. එහිදී ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික සම්ප්‍රදායානුකූලව එම නෞකාව පිළිගත්තා.
ඉන් අනතුරුව නෞකාවේ අණදෙන නිලධාරී, කොමාණ්ඩර් සහිරුල් හක් (Zahirul Haque) ඇතුළු නිලධාරීන් පිරිස බටහිර නාවික විධාන මූලස්ථානයේදී, බටහිර නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් සුමිත් වීරසිංහ හමුවූ අතර එහිදී ඔවුන් ද්විපාර්ශ්වික වශයෙන් වැදගත් කරුණු කිහිපයක් පිළිබඳව සුහද පිළිසදරක නිරත වූ බවත් එම අවස්ථාව සනිටුහන් කරමින් සමරු තිළිණ හුවමාරුවක් සිදු වූ බවත් සදහන්.
මෙම නෞකාව, දිවයිනේ රැදී සිටින කාල සීමාව තුළදී ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සංවිධානය කරනු ලබන සුහද ක්‍රීඩා තරඟ, සංස්කෘතික වැඩසටහන්, ශ්‍රී ලංකාවේ වැදගත් ස්ථානයන්හි සිදු කරනු ලබන සංචාරයන් ඇතුළු වැඩසටහන් කිහිපයක් සඳහා එහි නැව් මුළුව සහභාගී වීමට නියමිතයි.
එමෙන්ම මෙම සංචාරය අතරතුරදී ශ්‍රී ලංකා නාවික හමුදාවට අයත් නෞකාවක් මතට බංගලාදේශ නාවික හමුදා හෙලිකොප්ටර් යානාවක් ගොඩබෑමේ පුහුණු අභ්‍යාසයක් ද සිදු කිරීමට නියමිත බව සදහන්.
දිගින් මීටර් 115.2 ක් සහ පළල මීටර් 13.1ක් වන ‘සොමුද්‍රා අවිජාන්’ නෞකාව ටොන් 3367.58 ක ධාරිතාවයකින් යුක්ත වන අතර, නෞකාව සිය සිව්දින නිල සංචාරය නිමා කිරීමෙන් අනතුරුව එළඹෙන සැප්තැම්බර් 10 වන දින දිවයිනෙන් පිටත් වනවා.