ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණ පිහිටුවීම හා එක්සත් ජතික පක්ෂය ප්‍රමුඛ ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා නම් කිරීම ලබන 24 දා සිදුකිරිමට නියමිතයි.
ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණෙන් ජනාධිපතිවරණයට ඉදිරිපත්වීම සඳහා මේ වන විට පුද්ගලයන් දෙදෙනෙකුගෙන් ලිඛිත ඉල්ලීම් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත යොමුකර ඇති බව එක්සත් ජාතික පක්ෂ ආරංචි මාර්ග සඳහන් කරනවා.
එසේ ඉල්ලීම් කර ඇත්තේ අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා හා කථානයක කරු ජයසූරිය යන මහත්වරුන් බව සදහන්.
ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණ පිහිටුවීම සඳහා සියලු නායකයන්ගේ සාකච්ඡාවක් ඊයේ රාත්‍රියේ අරලියගහ මන්දිරයේදී පැවැත්වුණා.
මෙහිදි ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණේ ඡන්ද ලකුණ, ව්‍යවස්ථාව, ලිපිනය, ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ආදී වැදගත් කරුණු රැසක් පිළිබඳව අවසන් එකඟතාවකට පැමිණ ඇති බව සදහන්.
මේ අතර ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්ෂකයා නම් කිරීමේ අවස්ථාවට සහභාගිවීමට විදෙස්ගතව සිටින මැති ඇමතිවරුන් දිවයිනට කැඳවන ලෙසද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් දී තිබෙනවා.
ඊයේ පැවැති සාකච්ඡාවලදි එජාප අපේක්ෂකයා තේරීම පිළිබඳව අවසන් තීරණයක් නොගත් බවත් කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස්කර 24 වැනිදා වන විට අපේක්ෂකයා ප්‍රකාශයට පත්කරන බවත් අගමැතිවරයා ප්‍රකාශ කළ බව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක අමාත්‍ය රවුෆ් හකීම් මහතා ප්‍රකාශ කළා.