News Line| Off Air
Generic placeholder image

Oct
24

ඔබ ඔබේ කොණ්ඩය ගැන මේ දේවල් දැන සිටියාද?

1735 Views


ඔබ ඔබේ කොණ්ඩය ගැන මේ දේවල් දැන සිටියාද?

කොණ්ඩේ කියන්නේ මොකක්ද කියල නොදන්න කෙනෙක් නැහැ. ඒ වුනාට ඔය එක එක විලාසිතා කරලා හැඩට, පෙනුමට තියන් ඉන්න කොණ්ඩේ ගැන අපි නොදන්න දේවල් ගොඩක් තියෙනවා. ගැහැණු පිරිමි අපි හැමෝටම කොණ්ඩය ගැන වැදගත් කාරණා කිහිපයක් කියන්නයි මේ සූදානම.

1. සංයුතිය

කොණ්ඩේ පරිස්සම් කරගන්න උනන්දු වෙන හැමෝටම වැදගත් මේ කොණ්ඩේ කියන්නේ මොකක්ද කියල දැනගන්න එක. කොණ්ඩේ හැදිලා තියෙන්නේ කෙරටින් කියන දෘඩ ප්‍රෝටීනයෙන්. රෝම කූපයකින් තමඉ කෙස් ගහක් වැවෙන්න පටන් ගන්නේ. ඔය රෝම කූපයට යටින් තියෙන බල්බ් කියල එකක් හරහා තමයි කෙස් ගහට අවශ්‍ය පෝෂණ අවශ්‍යතා හිස් කබල ඇතුලේ තියෙන නහර පද්ධතියක් හරහා ලබාගන්නෙ. ඔය රෝම කූපයේම තව තියෙනවා තෙල් සහිත ග්‍රන්ථියක්. එතන තමයි හිස් කබලට සහ කෙස් ගස් වල තෙතමනය රඳවාගන්න ඕන තෙල් හැදෙන්නේ.

2. කොණ්ඩෙන් තියෙන ප්‍රයෝජන

කොණ්ඩේ තියෙන්නේ ඇයි කියල හිතෙනවා ඔබට සමහරවිට හිතෙන්න පුලුවන්. අන්න ඒක තමයි මේ කියන්න යන්නේ. ඇඟට අඳින ඇඳුම් වලින් ඇඟ ආරක්ෂා කරනව වගේ ඔලුව උණුසුමෙන්, සීතලෙන්, අධෝරක්ත කිරණ වලින් ආරක්ෂා කරගන්න එක තමයි කොණ්ඩෙන් සිදුවන ප්‍රධානම දේ. ආරක්ෂාව කෙසේවෙතත් අපි කොණඩෙන් බලපොරොත්තු වෙන ලොකුම දේ තමයි පෙනුම. මුහුණේ පෙනුමට කොණ්ඩෙන් එකතුවෙන ස්වභාවික ලස්සන තමයි ඊළඟට තියෙන ලොකුම ප්‍රයෝජනය.

3. කොණ්ඩෙට පාට, හැඩය ලැබෙන හැටි

දැන් නම් එක එක තමන්ට කැමති ඕනම පාටක් යොදාගෙන කොණ්ඩේ පාට කරගන්න පුලුවන්. නමුත් ස්වාභාවික කොණ්ඩය පාට, හැඩය, එක එක රටවල්, ජනවර්ග වගේ කාරණා අනුව වෙනස් වෙනවා. ඔය හැඩය, ඒ කියන්නේ ස්ට්‍රේට්, කර්ල් එහෙම නැත්තම් ඝනකම, සිනිදු වගේ ලක්ෂණ මූලිකවම තීරණය වෙන්නේ අපේ ජාන අනුව. හැබැයි කොණ්ඩේ පාටනම් තීරණය කරන්නේ ජාන නෙමෙයි. හමේ වගේම කොණ්ඩේ තියෙන මෙලනින් කියන වර්ණකය. කළු පාටේ ඉඳන් රතු පාට වෙනකං විවිධ පාට ලැබෙන්නේ කොණ්ඩේ අඩංගු මෙලනින් වර්ණකයේ ප්‍රමාණය අනුව.

4. කොණ්ඩෙට හානි වෙන හැටි

ගැහැණු පිරිමි බේදයක් නැතුව නිතර අහන්න ලැබෙන ප්‍රශ්නයක් තමයි කොණ්ඩේ යනවා, කොණ්ඩේ ඩැමේජ් වෙලා කියන එක. එහෙම වෙන්නත් හේතු තියෙනවා.

වැඩිපුර කොන්ඩේ හෝදන එක

දිනපතා නාන එක ශරීර සෞඛ්‍යයට හොඳ උනාට කොණ්ඩෙට නම් එච්චර හොඳ නෑ කියල තමයි කියන්නේ. අර කලින් කියපු කොණ්ඩෙට ස්වභාවිකව ලැබෙන තෙල් නිතරම් හෝදලා ඉවත් කරන එක කොණ්ඩෙට අපිම කරගන්න හානියක්.

අනවශ්‍ය විදිහට ෂැම්පු, කන්ඩිෂනර් පාවිච්චිය

කොණ්ඩේ ස්වභාවයට නොගැලපෙන ෂැම්පු එකක් පාවිච්චි කරන එක, උවමනා ප්‍රමාණෙට වඩා කන්ඩිෂනර් පාවිච්චි කරන එක ලොකුම හානියක්.

කොණ්ඩේ පීරන එක

කොණ්ඩේ අවුල් පිටින් තියාගන්න කියල නෙමෙයි මේ කියන්න යන්නේ. උවමනා ප්‍රමාණයට වඩා පීරන එකෙනුයි, විශේෂයෙන්ම තෙත ගතිය තියෙද්දී පීරන එකෙනුයි කොණ්ඩෙට හුඟක්ම හානි වෙනවා.

තද පෝනිටෙල්

ගැහැණු ළමයි කොණ්ඩේ තදට ගැට ගහන, ගොතන විදි නිසාත් කොණ්ඩේ කැඩිලා හානි සිදුවෙනවා. විශේෂයෙන් තෙත කොණ්ඩේ ලේසියෙන්ම කැඩෙන්න බලන නිසා තෙත පිටින් ගැට ගැහුවම වෙන හානිය තවත් වැඩියි.

කෙමිකල් ට්‍රීට්මන්ට්ස්

දැන දැනම කරගන්න හානිය තමයි පාට කරන්නයි, හැඩ කරන්නයි කෙමිකල්ස් කොණ්ඩෙට ගාන එක. ඒ වගේම අයන් කරනව වගේ තද උණුසුමට කොණ්ඩේ නිරාවරණය කරන එක.

5. කොණ්ඩේ පරිස්සම් කරන්නේ කොහොමද?

දිනපතා හෝදන්න එපා

දින 2 කට හෝ 3 කට පාරක් විතරක් කොණ්ඩේ හෝදන්න පුරුදු වෙන්න. දාඩිය දාල නොනාම ඉන්න බැරිමනම් හුඟක් ෂැම්පු නොකර වතුරෙන් විතරක් කොණ්ඩේ හෝදන්න.

රසායනික වර්ග අඩු නිෂ්පාදන පාවිච්චිය

සිලිකන්, සල්ෆේට් වගේ රසායනික ද්‍රව්‍ය අඩු ස්වභාවික ෂැම්පු, කන්ඩිෂනර් වර්ග හැමවෙලාවෙම පාවිච්චි කරන්න.

ෂැම්පු සහ කන්ඩිෂනර් දාන හැටි

ෂැම්පු තෝරගන්නකොට වෙළඳපොලේ තියෙන ෂැම්පු වර්ග අතරින් තෙල් සහිත, වියලි වගේ තමන්ගේ කොණ්ඩේ හැටියට ගැලපෙන හරිම ෂැම්පු එකක් තෝරාගන්න ඕනේ. ෂැම්පු පාවිච්චි කරනකොටත් කොණ්ඩෙට හානි නොවෙන්න පුළුවන් තරම් මෘදු විදිහට පාවිච්චි කරන්න. කන්ඩිෂනර් හිස් කබලට නොදා කෙස් අග්ගිස්සට විතරක් පාවිච්චි කරන්න. ෂැම්පු දාල නාන හැම අවස්ථාවකම කන්ඩිෂනර් දාන්නත් අවශ්‍යම නැහැ.

සීතල වතුර භාවිතය

උණුසුම් වතුර කොණ්ඩෙට තවත් හානියක්. ඇල් මැරුණු වතුර හරි, සෙම අමාරු නැත්තම් සීතල වතුර හරි පාවිච්චියෙන් කොණ්ඩෙට හානි වෙන එකයි, දාපු ෂැම්පු කන්ඩිෂනර් වලින් ලැබුන පෝෂණය අයින් නොවෙන එකයි දෙකම වෙනවා.

ඕනවට වඩා පිහදාන්න එපා

ඕනවට වඩා පිහදාන එක, ඩ්‍රයර් එකෙන් වේලන එක කියන දෙකම කොණ්ඩෙට අහිතකරයි. තෙත මාත්තු කරල හුළඟින් වේලෙන්න දෙන එක තමයි හොඳම.

මීට අමතරව තමන්ගේ කොණ්ඩෙට හානි නොවෙන, ගැලපෙන පනාවක් තෝරාගන්න එකත්, පානාව නිතර හෝදලා පිරිසිදුව තියාගන්න එකත් එකසේ වැදගත්.

6. කොණ්ඩෙට පෝෂණය ලැබෙන ආහාර

අපි ගන්න ආහාර වලින් කොණ්ඩෙට ප්‍රෝටීන්, බයොටීන්, විටමින් සහ සින්ක් වගේ පෝෂණ අවශ්‍යතා ලේසියෙන්ම ලැබෙනවා. එහෙම කෑම වර්ග කීපයක් තමයි බිත්තර, නිවිති, බතල, කැරට්, අලිගැටපේර, කජු ආමන්ඩ් වගේ ඇට වර්ග සහ දොඩම් කුලයට අයිති පළතුරු. මීට අමතරව වතුර බොන එකත් හරිම වැදගත්.

7. පිටතින් කොණ්ඩෙට කරන සත්කාර

කන බොන දේවල් වලට අමතරව පිටතින් කොණ්ඩෙට කරන සත්කාරත් හරිම වැදගත්. මේ කියන්නේ සැලුන් වලට ගිහින් කරන ට්‍රීට්ම්න්ට්ස් නෙමෙයි. ඒවාට අමතර සරල මූලිකම සත්කාර ගැන.

මුලින්ම තමන්ගේ කොණ්ඩේ ගැන හරියට දැනගෙන ඉන්න ඕනේ. ඒ අනුව තමයි කලින් කියපු විදියට කොණ්ඩෙට පාවිච්චි කරන නිෂ්පාදන උනත් තෝරගන්න ඕනෙ.

ස්වභාවික තෙල්

ස්වභාවික තෙල් වර්ගයක් පාවිච්චි කරන්න. හිස් කබලට නෙමෙයි. කොණ්ඩේ මැද ඉඳන් අග දක්වා කොටසට. ඒකෙන් තෙතමනය ආරක්ෂා වෙනවා.

ට්‍රිම් කරන්න

ඒ කිව්වේ පැලුණු අගිස් නිතර කපල දාන්න. ඒව දිගටම පැලෙන එකෙන් කොණ්ඩෙට වෙන හානිය අවම කරගන්න පුළුවන්.


News Articles
Latest Videos
Most Popular Post