උඩරට දුම්රිය මාර්ගයේ මගී ඉල්ලුමට සරිලන පරිදි කොළඹ කොටුව – බදුල්ල අතර නව නගරාන්තර දුම්රිය සේවාවක් අද (01) සිට “දෙනුවර මැණිකේ” නමින් එක් කිරීමට ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු කර තිබෙනවා.
මෙම දුම්රිය සඳහා චීනයෙන් මෙරටට ආනයනය කරන ලද නවීන S14 වර්ගයේ බලවේග දුම්රියක් යොදවා ඇති අතර මෙහි වායු සමනය කරන ලද පළමු පන්තියේ මැදිරි 2ක්, දෙවැනි පන්තියේ මැදිරි 2 ක් සහ තෙවැනි පන්තියේ මැදිරි 3 කින් සමන්විත වනවා. ඊට අමතරව භෝජනාගාරයකින්ද මෙම දුම්රිය සමන්විතයි.
මෙම දුම්රිය දිනයක් හැර දිනයක් ධාවනයේ යෙදවිමට නියමිතයි. ඒ අනුව කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් ගමන් ආරම්භ කරන දුම්රිය බදුල්ලට ළඟා වීමෙන් අනතුරුව බදුල්ලේ සිට පසුදින නැවතත් කොළඹට ගමන් ආරම්භ කිරීමට නියමිත බව සදහන්.
මෙම නවීන දුම්රියේ සියලුම මැදිරි සඳහා මහජන ඇමතුම් පද්ධතියක්ද පළමු පන්තියේ මැදිරි තුල රූපවාහිනී තිර, ජංගම දුරකථන ආරෝපණ පහසුකම්, මගී ආසන සඳහා Headset පහසුකම්ද සලසා තිබෙනවා.