News Line| Off Air
Generic placeholder image

Nov
28

හොංකොං විරෝධතාකරුවන්ට ට්‍රම්ප්ගේ සහය හිමිවෙයි

748 Views


හොංකොං විරෝධතාකරුවන්ට ට්‍රම්ප්ගේ සහය හිමිවෙයි

හොංකොං විරෝධතාකරුවන්ට සහාය පල කිරීම සඳහා වන නීති කෙටුම්පතකට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අත්සන් තබා තිබෙනවා. අමෙරිකාවේ එම පියවර චීනය සමඟ පවතින මතබේදය උත්සන්නවීමට තුඩුදෙනු ඇතැයි සඳහන් වෙනවා.

තම දේශයේ ස්වාධීනත්වය උදෙසා හොංකොං වැසියන් ආරම්භ කර ඇති දැවැන්ත විරෝධතාවට සහාය පල කරමින් ඉකුත් ජූනි මාසයේදී අමෙරිකාව නව කෙටුම්පතක් ගෙන එනු ලැබුවා.

පසුගිය මාසයේදී අදාළ කෙටුම්පතට කොංග්‍රසයේ අනුමැතිය හිමිවූ අතර ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ද ඊට අත්සන් තබා තිබෙනවා.

හොංකොං දේශය චීනයේ කොටසක් වුවත් දෙරට අතර සුවිශාල ආර්ථික පද්ධති හා නීතිමය වෙනසක් පවතින බව අමෙරිකාව පවසනවා. එමෙන්ම චීන ජනාධිපති ෂී ජින්පින්ට, චීනයට හා හොංකොං වැසියන්ට ගරු කරමින් මෙම ලියවිල්ලට අත්සන් තැබූ බව ජනාධිපති ට්‍රම්ප් පවසනවා.

අමෙරිකාව මෙම කෙටුම්පතට අත්සන් තැබුවේ චීනය සමඟ පවතින වෙළඳ යුද්ධය අවසන් කරමින් දෙරට අතර ගිවිසුමකට එළඹීම සඳහා ජනාධිපති ට්‍රම්ප් අපේක්ෂාවෙන් සිටින පසුබිමකයි. හොංකොං ගැටළුව සඳහා මැදිහත් නොවන ලෙස චීනය මීට පෙර අමෙරිකාවට පවසා තිබුණි.

එබැවින් අමෙරිකාවේ මෙම පියවර චීනය සමඟ පවතින මතබේදය උත්සන්න කිරීමට තුඩුදෙනු ඇතැයි විදෙස් වාර්තා පවසනවා. මේ අතර කඳුළු ගෑස්, රබර් උණ්ඩ වැනි ජනතාව පාලනය කිරීම සඳහා යොදාගන්නා ආයුධ හොංකොං පොලිසිය වෙත අපනයනය කිරීම තහනම් කරන ලේඛනයකටත් ඩොනල්ඩ් ට්‍රම්ප් අත්සන් තබා තිබුණි.

අදාළ ලේඛන දෙක බලාත්මක කිරීමෙන් චීනයේ හා හොංකොංහි නායකයන්ට දෙරටේ වෙනස්කම් අවබෝධ කරගනිමින් මෙම ගැටළුව විසඳා ගැනීමටත් දෙරටටම සාමය හා සෞභාග්‍යය උදාකර ගැනීමටත් ඉඩ සලසාදෙන බවයි අමෙරිකානු ජනාධිපතිවරයා වැඩිදුරටත් පවසනවා.


News Articles
Latest Videos
Most Popular Post