News Line| Off Air
Generic placeholder image

Dec
5

ඥාණසාර හිමියන්ට එරෙහි පෙත්සම් දෙකක් සලකා බැලීම ලබන වසරට කල් යයි

679 Views


ඥාණසාර හිමියන්ට එරෙහි පෙත්සම් දෙකක් සලකා බැලීම ලබන වසරට කල් යයි

බොදුබල සේනා සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට එරෙහිව ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙකක් සලකා බැලීම මාර්තු මස 2 වනදා දක්වා කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියම කර තිබෙනවා.

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් සිරදඬුවම් ලබා සිටි පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට ජනාධිපති සමාව ප්‍රදානය කිරීමට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගත් තීරණය ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට පටහැනි යැයි ප්‍රකාශ කරන මෙන් ඉල්ලා මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙක ගොනු කර ඇති අතර අතුරුදන්ව සිටින මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතාගේ බිරිඳ වන සන්ධ්‍යා එක්නැලිගොඩ සහ විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ ආචාර්ය පාක්‍යසෝති සරවනමුත්තු යන අය විසින් අදාළ මූලික අයිතිවාසිකම් පෙත්සම් ඉදිරිපත් කර තිබෙනවා.

එම පෙත්සම් අද අගවිනිසුරු ජයන්ත ජයසූරිය, එල්.ටී.බී. දෙහිදෙණිය සහ මුර්දු ප්‍රනාන්දු යන මහත්ම මහත්මීන්ගේ සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.

මෙම නඩුවේ වගඋත්තරකරුවන් ලෙස ජනාධිපතිව සිටි මෛත්‍රීපාල සිරිසේන, නීතිපතිවරයා, හිටපු අධිකරණ ඇමති තලතා අතුකෝරාල, එම අමාත්‍යාංශයේ ලේකම් ඇතුළු පිරිසක් නම් කර තිබුණා. පෙත්සම අද කැඳවූ ලැබූ අවස්ථාවේදී පෙත්සම්කාර පාර්ශවය නිතිඥවරු අධිකරණයට දන්වා සිටියේ පෙත්සමේ වගඋත්තරකරුවන්ගේ සංශෝධනයක් සිදු කිරීමට අවශ්‍යව තිබෙන බවයි.

ඒ සඳහා කාලය ලබා දෙන ලෙසත් පෙත්සම්කාර පාර්ශවයේ නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටි අතර එම ඉල්ලීම පිළිගත් ත්‍රීපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල සංශෝධිත පෙත්සම් ඉදිරිපත් කිරීම සඳහා පෙත්සම්කාර පාර්ශවයේ නීතිඥවරුන්ට ඉඩ ලබාදුන් අතර එම සංශෝධිත පෙත්සම පෙබරවාරි මස 07 වනදා ට පෙර ඉදිරිපත් කරන්නයි නියම කළා.

අනතුරුව පෙත්සම් සලකා බැලීම සඳහා මාර්තු මස 2 වනදා කැඳවන ලෙසද ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල නියම කළා.

අධිකරණයට අපහාස කිරිම සම්බන්ධයෙන් වසර හයක සිරදඬුවමක් ලබා සිටි ඥානසාර හිමියන්ට ජනාධිපති සමාව ප්‍රදානය කිරීමට එවක ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ගත් තීරණය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව පෙත්සම්කරුවන් කියා සිටියි. ඒ තුළින් අධිකරණ ස්වාධීනත්වයට බරපතල පහරක් එල්ල වී ඇති බවද ඔවුන් සඳහන් කරනවා.

එම නිසා ඥාණසාර හිමියන්ට ජනාධිපති සමාව ප්‍රදානය කිරීමට ගත් තීරණය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැණි යැයි තීන්දු කොට එය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ද පෙත්සම්කරුවන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටියි.

මෙම පෙත්සම් වල වගඋත්තරකරුවෙකු ලෙස නම් කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා පෙනී සිටියා.


News Articles
Latest Videos
Most Popular Post