අඛණ්ඩව ගුණාත්මක බවින් ඉහළ ඉන්ධන මහජනතාව වෙත ලබාදීමට වග බලාගත යුතු බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවිර මහතා ප්‍රකාශ කළා.
ශ්‍රී ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් සිදුකරනු ලබන කටයුතු සමාලෝචනය කිරීමේ රැස්වීමක් ඊයේ (12) ඛනිජ තෙල් අමාත්‍යාංශයේදී පැවති අතර ඊට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසුවා.
ශ්‍රී ලංකාවේ ඛනිජ තෙල් සැපයුම කාර්යක්ෂමව සහ එහි නිෂ්පාදන හිඟයකින් තොරව පාරිභෝගික ජනතාව වෙත ලබාදීම සඳහා සංස්ථාව විසින් ඉදිරි සංවර්ධන ව්‍යාපෘති රැසක් ආරම්භ කිරීමට කටයුතු යොදා තිබෙනවා.
ඒ අනුව කෙරවලපිටිය LNG බලාගාරය පිහිටුවීම, කොළඹ වරායේ සිට අමතර නව නලමාර්ග පද්ධතියක් ඉදිකිරීම, සති 2කට පමණක් ප්‍රමාණවත් වන පරිදි පවත්වා ගෙන යන ඉන්ධන ගබඩා කිරීම අඩුතරමින් මාසයක කාලය දක්වා අමතර තොග පවත්වා ගෙන යාම සඳහා නව ඉන්ධන ටැංකි පද්ධතියක් ස්ථාපිත කිරීම, ප්‍රාදේශීය සැපයුම් මධ්‍යස්ථානවල ධාරිතාව පුළුල් කිරීම, මාර්ග තදබදය අවම කිරීම සඳහා බස්නාහිර පළාතේ සිට බැහැර ප්‍රදේශ වලට ඉන්ධන ප්‍රවාහනයේදී බවුසර් රථ වෙනුවට දුම්රිය යොදා ගැනීම සහ අමතර දුම්රියක් ඉන්ධන ප්‍රවාහනය සඳහාම යොදා ගැනීම, අවශ්‍ය නම් දුම්රිය එන්ජිමක් ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් මිලදී ගෙන දුම්රිය දෙපාර්තමේන්තුවට පැවරීම වැනි ඉදිරි සංවර්ධන කටයුතු රැසක් ලබන වසර තුළ ක්‍රියාත්මක කිරීමට යෝජිතයි.
මෙහිදී අදහස් පළ කළ අමාත්‍යවරයා කියාසිටියේ ඉන්ධන සම්බන්ධයෙන් මහජනතාවගේ වරින් වර විවිධ චෝදනා එල්ල වන නිසා සෑම විටම අඛණ්ඩව ගුණාත්මකභාවයෙන් ඉහළ ඛනිජ තෙල් නිෂ්පාදන වෙළඳපළට සැපයීමට පියවර ගන්නා බවයි.
මෙහිදී ශ්‍රී ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට සම්බන්ධ සියලු නිලධාරීන් තම රාජකාරිය නිවැරදිව වගකීමකින් යුක්තව ඉටුකරන ලෙස අමාත්‍ය මහින්ද අමරවිර මහතා නිළධාරීන්ගෙන් ඉල්ලීමක් කළා.