අඩු ආදායම්ලාභී පවුල්වල පුද්ගලයින් ලක්‍ෂයකට ලබන ජනවාරි 15 වනදාට පෙර රජයේ රැකියා ලබාදෙන බව ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා පැවසුවා.
ස්වයං රැකියා සදහා ප්‍රාග්ධනය නොමැති, වගා කිරීමට ඉඩම් නොමැති හෝ සමෘද්ධිලාභීන් වැනි කණ්ඩායම්වලින් මේ සදහා සුදුස්සන් තෝරා ගන්නා බව ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසුවා.
මෙම රැකියා සදහා අධ්‍යාපන සුදුසුකම් විශේෂයෙන් සලකා නොබලන බවද එමෙන්ම උසස් පෙළ සමතුන්ට මෙම රැකියා ලබා නොදෙන බවද ජනාධිපතිවරයා පැවසුවා.
අඩු ආදායම්ලාභී පවුල් ආර්ථිකව සවිබල ගැන්වීම මෙම රැකියා ව්‍යාපෘතියේ අපේක්‍ෂාවයි.
සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුව මෙන් ශක්තිමත් නව බලකායක් පෙදරේරුවන් සහ වඩු කාර්මිකයන් වැනි ශිල්පීන්ගෙන් නිර්මාණය කළයුතු බවද ජනාධිපතිවරයා පෙන්වා දුන්නා. ඒ සදහා එම ශිල්පීන්ට පුහුණුවක් ලබාදීමටද කටයුතු කරන බව ජනාධිපතිවරයා පැවසුවා.
රැකියා විරහිත උපාධිධාරීන් සදහා ගුරු පුහුණුවක් ලබාදී ඔවුන් ගුරු පුරප්පාඩු පවතින පාසල්වලට අනියුක්ත කරන බව මෙහිදි ප්‍රකාශ කෙරුණ අතර ලෝක වෙළද පොලෙහි ඇති රැකියා අවස්ථා පිළිබදවද විමසිල්ලෙන් සිටින බව ජනාධිපතිවරයා පැවසුවා. ඒ අනුව ලෝක වෙළද පොලෙහි ඇති රැකියා අවස්ථා සදහා සුදුසුකම් සපුරා ගැනීමට ශ්‍රී ලංකාවේ තරුණ තරුණියන්ට පහසුකම් හා අවස්ථා ලබාදෙන බවද ජනාධිපතිවරයා ප්‍රකාශ කළා.
මාධ්‍ය ආයතනවල ප්‍රවෘත්ති ප්‍රධානීන් සමග ජනාධිපති කාර්යාලයේ අද (16) පස්වරුවේ පැවති සාකච්ඡාවකදී ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා මෙම කරුණු අවධාරණය කළා.