ගලේවෙල දඹුල්ල ප්‍රධාන මාර්ගයේ යටිගල්පොත්ත ප්‍රදේශයේදී අද අළුයම වාහන හතක් එකිනෙකට ගැටීමෙන් පුද්ගලයන් පහළොස් දෙනෙකු තුවාල ලබා දඹුල්ල සහ ගලේවෙල රෝහල්වලට ඇතුළත් කර තිබෙනවා.
වර්ෂාපතනයත් සමග අළුයම් කාලයේ මෝටර් රථයක් සහ ලොරි රථයක් ගැටී ප්‍රධාන මාර්ගයෙන් ඉවතට පැන ඒ පිළිබඳව පොලිසිය පැමිණ පරික්ෂා කරමින් සිටියදී එකවරම ටිපර් රථයක් වෑන් රථයක් එකිනෙක ගැටීම සිදු වූ බව පොලීසිය පැවසුවා.
විනාඩි කිහිපයක් ගතවෙද්දී එම වාහන දෙකේ පරික්ෂා කටයුතු පොලිසිය සිදු කරමින් සිටියදී නැවත වරක් මෝටර් රථයක් හා ටිපර් රථයක් ද නවතා තිබුණු වාහන වල ගැටුණු බව සදහන්.
ඒ අනුව වාහන හතක් විනාඩි කිහිපයක් ඇතුළත අනතුර සිදු වූ ස්ථානයේම අනතුරට පත් වීම විශේෂත්වයක්.
මෙම අනතුරුවලින් තුවාල ලැබූ පුද්ගලයන් 15 දෙනෙකු ගලේවෙල සහ දඹුල්ල රෝහලට ඇතුලත් කර ඇති අතර එයින් හතර දෙනෙකුගේ තත්ත්වය බරපතළ බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරනවා.
අනතුරට පත් වාහන සියල්ල පොලිස් අත්අඩංගුවට ගෙන ඇති අතර රියදුරන් කිහිප දෙනෙකු ද පොලිස් භාරයට ගත් බව පොලිසිය පවසනවා.
අනතුර සම්බන්ධයෙන් ගලේවෙල පොලිසිය මගින් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි.