News Line| Off Air
Generic placeholder image

Dec
23

රාජිත සේනාරත්නට විදෙස් ගමන් තහනමක්

673 Views


රාජිත සේනාරත්නට විදෙස් ගමන් තහනමක්

පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය රාජිත සේනාරත්න මහතාට විදෙස් ගමන් තහනමක් පණවා ඇති අතර ඒ මහතාගේ විදේශ ගමන් තහනම් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අධිකරණය ආගමන සහ විගමන පාලකවරයා වෙත නියෝගයක් නිකුත් කර තිබෙනවා.

රහස් පොලිසිය විසින් කරන ලද ඉල්ලීමක් පිළිගත් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා විසින් ආගමන සහ විගමන පාලකවරයා වෙත මෙම නියෝගය නිකුත් කරනු ලැබුවා.

රහස් පොලිසිය විසින් අධිකරණය හමුවේ ගොනු කරන ලද වාර්තාව මගින් සඳහන් කර තිබුණේ පරීක්ෂණයට භාජනය වී තිබෙන මාධ්‍ය සාකච්ඡාව හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ මෙහෙයවීම යටතේ ඔහුගේ පූර්ණ අනුග්‍රහය මත සිදුවී ඇති බවට විමර්ශනවලදී කරුණු අනාවරණය වී ඇති බවයි.

මෙම වාතාවරණය මත මොහු විදේශ ගත වූවහොත් ඉදිරි පරීක්ෂණ වලට බාධා සිදුවිය හැකි බැවින් අපරාධ නඩු විධාන සංග්‍රහයේ විධිවිධාන ප්‍රකාරව ඒ මහතා විදේශ ගතවීම වැළැක්වීමේ නියෝගයක් ආගමන සහ විගමන පාලකවරයා වෙත නිකුත් කර ලෙස ද පොලිසිය අධිකරණයෙන් ඉල්ලා සිටියා.

ඉල්ලීම පිළිගත් මහේස්ත්‍රාත්වරයා විසින් මෙම නියෝගය ප්‍රකාශයට පත් කර තිබෙනවා.

තමන්ව අත්අඩංගුවට ගැනීම වළක්වන ලෙස ඉල්ලමින් පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා ගොණුකළ අපේක්ෂිත ඇප අයදුම්පත් විමසා බැලීම ලබන 30වනදා සිදුකිරීමට අධිකරණය තීරණය කළ අතර අදාල අපේක්ෂිත ඇප අයදුම්පත් අද කැඳවූ අවස්ථාවේදී කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා මෙම නියෝගය නිකුත් කළා.

අපේක්ෂිත ඇප අයදුම්පත් මගින් වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇති පාර්ෂවයට ලබන 30වනදා අධිකරණය හමුවේ පෙනීසිටින ලෙස දන්වමින් නොතිසි නිකුත් කිරීමටද විනිසුරුවරයා නියෝග කළා.

සුදුවෑන් සිද්ධිය සම්බන්ධයෙන් පසුගිය ජනාධිපතිවරණය සමයේදී මාධ්‍ය හමුවක් කැඳවමින් සිදුකළ ආන්දෝලනාත්මක හෙළිදරව්වට අදාලව තමන් අත්අඩංගුවට ගැනීමේ සූදානමක් ඇති බව දක්වමිනුයි රාජිත සේනාරත්න මහතා අධිකරණය හමුවේ අපේක්ෂිත ඇප අයදුම්පත් ගොණුකර තිබුනේ.


News Articles
Latest Videos
Most Popular Post