පහ ශ්‍රේණි ශිෂ්‍යත්ව විභාගය සමතුන්ට ශිෂ්‍යාධාර මුදල් ගෙවීමේ ක්‍රියාවලිය වඩාත් කාර්යක්ෂමව සිදුකිරීම සදහා අධ්‍යාපන අමාත්‍යාංශය මේ වනවිට ශිෂ්‍යාධාර දීමනාව සඳහා සුදුසුකම් ලබා සිටින සියලු පාසල් සිසුන්ගේ සවිස්තරාත්මක දත්ත පද්ධතියක් සකස් කර තිබෙනවා.
එම දත්ත පද්ධතිය ඇසුරෙන් සෑම මසකම 10 වැනි දින වනවිට සිසුන්ගේ බැංකු ගිණුම් වෙත මාර්ගගත ක්‍රමයට (Online) මුදල් බැර කරනු ඇති.
පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයට සෑම වසරකදීම සිසුන් 350,000කට ආසන්න පිරිසක් පෙනී සිටින අතර, ඔවුන් අතරින් ශිෂ්‍යත්වය සමත් අඩු ආදායම්ලාභී පවුල්වල (මාසික ආදායම රුපියල් 15000ට අඩු) සිසුන් 20,000 කට පමණ ශිෂ්‍යාධාර ලබාදීම සිදු කෙරෙනවා.
ශිෂ්‍යත්ව සමතුන් වෙත මෙසේ ශිෂ්‍යාධාර ලබාදීම 6 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා අඛණ්ඩව සිදු කෙරෙන ක්‍රියාවලියක්.
ශිෂ්‍යාධාර මුදල් ලබාගැනීම සඳහා මෙතෙක් පැවති ක්‍රමය වූයේ, එක් එක් සිසුන් තමන්ගේ ශිෂ්‍යාධාර මුදල් ලබා ගැනීමට මාස් පතා වවුචර් මඟින් ඉල්ලුම් කිරීමයි.
එම නිසා පැවති ගැටළු සහ ප්‍රමාදයන් මෙම Online ක්‍රමය මඟින් විසඳෙන අතර, එමගින් අදාළ ශිෂ්‍යාධාර මුදල් අපහසුවකින් තොරව සිසුන්ගේ ගිණුමට සෘජුවම ලබාදීමට හැකිවීම මෙහි විශේෂත්වයක් වනවා.
ශිෂ්‍යත්වය සමත් සියලු දරුවන්ට මාසිකව රුපියල් 750/- ක් මේ අනුව හිමිවන අතර, පසුගිය අයවැයෙන් ඒ සඳහා රුපියල් මිලියන 900ක් වෙන් කර තිබෙනවා.
ඒ අනුව, 2020 වර්ෂයේ ජනවාරි මස සිට රජයේ සියලුම පාසල්වල සහ පිරිවෙන්වලත්, පෞද්ගලික හා රජයේ ආධාර ලබන පාසල්වලත් පහ ශ්‍රේණි ශිෂ්‍යත්ව සමත් ශිෂ්‍යාධාර සුදුසුකම් ලබන සිසුන් සඳහා Online ක්‍රමයට ශිෂ්‍යාධාර ලබා දීම සිදුකෙරෙනවා.