බළල් සුරතලුන් වෙනුවෙන් ඉදිකළ අපූරු අවන්හලක් පිළිබඳ පුවතක් අමෙරිකාවෙන් වාර්තා වනවා.
මෙම අවන්හල, නිවාස අහිමි බළලුන් වෙනුවෙන් ක්‍රියාත්මක කැපකරු නිවාසයක් ලෙසද ක්‍රියාත්මක වන බව සදහන්.
බළලුන්ට ආදරය දක්වන පුද්ගලයන් අනිවාර්යෙන්ම යා යුතු මේ අවන්හල පිහිටා ඇත්තේ අමෙරිකාවේ වොෂින්ටන් නගරයේයි.
කෝපි කෝප්පයක රස විඳින අතරේ බළල් සුරතලෙක් සමග විවේකයෙන් කාලය ගතකිරීමට හැකි ආකාරයට මේ අවන්හල නිර්මාණය කර තිබෙනවා.
නිවාඩු සමය වෙනුවෙන් විශේෂයෙන් අලංකාර ඇඳුමින් සරසන ලද බළල් සුරතලුන් දැකබලා ගැනීමට අවන්හලට විශාල පිරිසක් ඇදී එන බව විදෙස් වාර්තා පවසනවා.
හිමිකරුවන් නොමැති බළලුන් වෙනුවෙන්ම ඉදි වූ ක්‍රම්බ්ස් ඇන්ඩ් විස්කර්ස් සමාගම සතු දෙවන කැපකරු නිවස මෙය වනවා.
සුරතලුන් වෙනුවෙන් ලොස් ඇන්ජලීස් නුවර එහි පළමු වැන්න ඉදි වූ අතර ඒ ඔස්සේ ලබා ගත් ජනප්‍රියත්වය මෙම අවන්හල විවෘත කිරීමට හේතු වී තිබෙනවා.
හදාවඩා ගැනීමට ඉල්ලුම්කරුවන් වෙත ලබාදෙන තෙක් බළලුන්ට රැකවරණය සැළසීමට කැපකරු නිවාස ලෙස ක්‍රියාත්මක වන මේ අවන්හල් මඟින් කටයුතු කෙරෙනවා.
මේ අපූරු අත්දැකීම විඳ ගැනීමට කැමති පාරිභෝගිකයන්ට අන්තර්ජාලය ඔස්සේ ඒ වෙනුවෙන් කාලය වෙන් කරවාගැනීමේ හැකියාව පවතින බව සඳහන්.
බළල් සුරතලුන් සමඟ සිය කාලය ගතකිරීමට පැමිණෙන අයගෙන් බොහෝ දෙනෙක් යළි මේ අවන්හලෙන් පිටව යන්නේ බළල් සුරතලෙකුගේ හිමිකාරීත්වයද සමඟයි.
මෙහි පැමිණෙන බොහෝ දෙනෙකු අවන්හල පිළිබඳව ප්‍රසාදයෙන් යුතුව අදහස් පළකර තිබෙනවා.