ජර්මනියේ සත්වෝද්‍යානයක ඇති වූ ගින්නකින් සතුන් රැසක් මරණයට පත්ව තිබෙනවා.
නව වසර උදාව වෙනුවෙන් දැල් වූ තහනම් ගිනිකෙළි විශේෂයක් හේතුවෙන් මේ ගින්න හටගෙන ඇති බවට සැක පළ කෙරෙනවා.
ජර්මනියේ සත්වෝද්‍යානයක වඳුරන් රඳවා සිටි ගොඩනැගිල්ලේ ඇති වූ ගින්නකින් එහි සිටි සියලුම සතුන් මිය ගිය බව බලධාරීහු තහවුරු කළා.
ක්‍රෙෆෙල්ඩ් (Krefeld) සත්වෝද්‍යානය පවසන්නේ, ගොඩනැඟිල්ල ගිනිගෙන බිමට සමතලා වී ඇති ආකාරය, දැකීමෙන් එහි සේවකයන් කම්පනයට පත් වූ බවයි.
වර්ග අඩි 6,500ක් විශාල මෙම ගොඩනැගිල්ල තුළ දුර්ලභ ගණයේ ඔරංඋටන්, චිපන්සී සහ මාමොසෙට්ස් ඇතුළු විවිධ වඳුරන් වර්ග විශාල ප්‍රමාණයක් රඳවා සිට තිබෙනවා.
එම ගොඩනැගිල්ලේ සිටි සියලුම සතුන් මියගොස් ඇතැයි සත්වෝද්‍යාන බලධාරීහු මුලින් සඳහන් කළ නමුත්, චිම්පන්සින් දෙදෙනෙකු දිවි බේරාගෙන ඇති බව පසුව ප්‍රකාශ කළා.
නව වසර උදාව වෙනුවෙන් දැල් වූ තහනම් ගිනිකෙළි විශේෂයක් හේතුවෙන් මේ ගින්න හටගන්නට ඉඩ තිබෙන බව පොලිසිය පවසන නමුත් ගින්නට හේතුව මෙතෙක් තහවුරු වී නැහැ.
සත්වෝද්‍යානයේ ගෝරිල්ලන්ගේ නිවස වෙන් කර තිබූ නිසා, සිය පවුල සමඟ එහි දිවි ගෙවන කිඩෝගෝ (‘Kidogo’0) නම් ගෝරිල්ලාට ද හානි සිදුව නොමැති බව ක්‍රෙෆෙල්ඩ් බලධාරීන් ප්‍රකාශ කළා.
1975 දී ගොඩනැගූ මෙම වඳුරන්ගේ නිවස වැසි වනාන්තරවල පවතින වැඩි උෂ්ණත්වයට සරිලන සේ නිම කර තිබූ අතර, වවුලන්, කුරුල්ලන් සහ වඳුරන් ඒ තුළ නිදහසේ සැරි සැරූ බව සඳහන්.
ජනතාව විවිධාකාරයෙන් ආධාර කිරීමට ඉදිරිපත් වීම පිළිබඳව සත්වෝද්‍යානය සිය ස්තුතිය පළ කළ බව විදෙස් වාර්තා පැවසුවා.