News Line| Off Air
Generic placeholder image

Jan
9

රංජන්ගේ හඬපට මුදාහැර ඇති බවට එල්ලවන චෝදනාවලට පොලීසියෙන් ප්‍රතිචාර

696 Views


රංජන්ගේ හඬපට මුදාහැර ඇති බවට එල්ලවන චෝදනාවලට පොලීසියෙන් ප්‍රතිචාර

රංජන් රාමනායක මහතා සම්බන්ධයෙන් පුද්ගලයින් සහ සමාජ ජාල ඔස්සේ සංසරණය වන දුරකථන සංවාද ඇතුළත් හඞ පට පොලීසිය විසින් මුදාහැර ඇති බවට එල්ල වන චෝදනා ප්‍රතික්ෂේප කරන බව පොලිස් මූලස්ථානය පවසනවා.

එම හඞපට සමාජගත වීම සම්බන්ධ වගකීම ඒවා සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයින්ට පැවරෙන බවයි නිවේදනයක් නිකුත් කරමින් පොලීසිය පවසන්නේ. බත්තරමුල්ල ප්‍රදේශයේ පදිංචි ත්‍රීරෝද රථ රියදුරෙකු පසුගිය ජනවාරි 02 වැනිදා මිරිහාන පොලීසියට බාහිර දෘඩ තැටියක් භාර දි තිබෙනවා.

කුලී ගමනක් යමින් සිටි පුද්ගලයෙකු අමතකවීමෙන් එය තම ත්‍රීරෝද රථයේ දමා ගොස් තිබූ බව අදාළ පුද්ගලයා පොලීසියට ප්‍රකාශ කර තිබෙන අතර එම දෘඩ තැටිය පරික්ෂා කිරීමේ දී රංජන් රාමනායක මහතා, හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා, පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය, හිටපු මහාධිකරණ විනිසුරු පද්මිණි එන්.රණවක මහත්මිය, අල්ලස් කොමිසමේ හිටපු අධ්‍යක්ෂිකා දිල්රුක්ෂි ඩයස් මහත්මිය, රහස් පොලීසියේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා ඇතුළු අධිකරණයට සහ පොලීසියට සම්බන්ධ නිලධාරීන් සමඟ සිදුකළ සංවාද අනාවරණය වූ බව පොලීසිය පවසනවා.

එමෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා ඝාතනය කිරීම සඳහා අවි පුහුණුවක යෙදෙන බවට දුරකථන සංවාදයක් පැවතීම ඇතුළු කරුණු මත එම බාහිර දෘඩ තැටියෙහි පළමු පිටපත සහ වෙනත් දේපල සොයාගැනීම සඳහා ජනවාරි 04 වන දින වරෙන්තුවක් මත රංජන් රාමනායක මහතාගේ නිවස පරික්ෂා කළ බව පොලීසිය පවසනවා.

එහිදී ඔහු සතුව තිබී ගිනි අවියක්, ජීව උණ්ඩ 127ක්, ලැප්ටොප් පරිගණක යන්ත්‍ර 2ක්, බාහිර දෘඪ තැටි 04ක්, දෘඪ තැටි 05, විවිධ වර්ගයේ ඩීවිඩි පට 164ක්, වසීව් තාජුඩීන් ඝාතනය පිළිබඳ විස්තර ඇතුළත් ගොනු දෙකක් සහ ජංගම දුරකථනයක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.

මන්ත්‍රීවරයා සතුව තිබිය යුතු ජීව උණ්ඩ 23ක්, අතුරුදන්වීම මඟින් ඔහු අපරාධයක් සිදුකර තිබේ ද යන්න පිළිබඳ ඇති වූ සැකය මත පොලීසිය විසින් ඔහු අත්අඩංගුවට ගත් බව අදාළ නිවේදනයේ දැක්වෙයි. එය නඩු භාණ්ඩයක් වශයෙන් ඉදිරියේ දී අධිකරණයට සහ රජයේ රස පරීක්ෂක වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post