සියලුම රාජ්‍ය ආයතන එකම දත්ත ජාලයකට යොමු කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අවධානය යොමුව තිබෙනවා.
ඒ රාජ්‍ය යාන්ත්‍රණයේ පවතින අකාර්යක්ෂමතාව, ප්‍රමාදය සහ දූෂණය පිටු දැකීම අරමුණු කර ගනිමින්.
ඊයේ පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ අමාත්‍යාංශ ලේකම්වරුන් සහ තොරතුරු තාක්ෂණ බලධාරින් සමග මීට අදාළ හමුවක් පැවති අතර එහිදී සේවාලාභියා සේවා සපයන්නා වෙත ගමන් කරනවා වෙනුවට අන්තර්ජාලය මගින් අදාළ සේවා සහ අනුමැතීන් සපයන ක්‍රමවේදයක් කඩිනමින් සකසන ලෙස ජනාධිපතිවරයා උපදෙස් ලබා දී තිබෙනවා.
දත්ත එක් පද්ධතියකට ගැනීමෙන් කාලය අවම කර අකාර්යක්ෂමතාව සහ දූෂණය වළක්වා ගත හැකි බව ද ජනාධිපතිවරයා එහිදී පෙන්වා දුන්නා.
1919 රාජ්‍ය තොරතුරු කේන්ද්‍රය ඔස්සේ ජනතාවට තොරතුරු සන්නිවේදනය යළි සක්‍රිය කිරීම කෙරෙහි ද මෙහිදී අවධානය යොමුවූ බව සදහන්.
එමෙන්ම රාජ්‍ය සේවයේ සිටින දක්ෂයින් ඉතා කඩිනමින් හදුනාගෙන නිපුණතා සංචිතයක් බිහි කිරීමේ අවශ්‍යතාව ද මෙහිදී අවධාරණය කෙරුණු බව ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කළා.
ඒ අනුව, වහාම අදාළ පිරිස් හදුනාගෙන එම සංචිතය සදහා නිර්දේශ යොමුකරන ලෙසද ජනාධිපතිවරයා සියලු අමාත්‍යාංශ ලේකම්වරුන්ට උපදෙස් ලබාදී තිබෙනවා.