චීනයේ සිට මෙරටට පැමිණෙන පිරිස් වෙනුවෙන් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේ වෙනම මගී පර්යන්තයක් වෙන් කිරිමට ගුවන්තොටුපළ බලධාරින් කටයුතු කර තිබෙනවා. කොරෝනා වෛරසය පැතිරීම වැලැක්වීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් මත පත් කරන ලද සාමාජිකයින් 22 දෙනෙකුගේ සමන්විත ජාතික ක්‍රියාකාරී කමිටුව අද (27) පස්වරුවේ රැස්වීමට නියමිතව තිබෙනවා.
කමිටුවේ සාමාජිකයින් ලෙස ජනාධිපති අතිරේක ලේකම් රියර් අද්මිරාල් ජයනාත් කොළඹගේ, සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් භද්‍රාණි ජයවර්ධන, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ, ගුවන් තොටුපල සමාගමේ සභාපති විශ්‍රාමික ජෙනරාල් ජේ.චන්ද්‍රසිරි, ආගමන විගමන පාලකවරයා ඇතුළු පිරිසක් නම් කර තිබෙනවා.
මෙහිදී වෛරසය පිළිබඳව ගතයුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව සහ ක්‍රියාත්මක කළ යුතු ආරක්ෂක වැඩපිළිවෙල පිළිබඳව සාකච්ඡා කෙරෙනු ඇති අතර මේ අතර මෙම වෛරස් රෝගී තත්වය හේතුවෙන් චීනයේ ඉගෙනුම ලබන ශ්‍රී ලාංකික සිසුන්ට මෙරටට පැමිණීම සඳහා විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කර ඇති බව ශ්‍රී ලංකන් ගුවන් සේවය පවසනවා.
මේ අතර චීනයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් පිළිබඳව තොරතුරු දැනගැනීම සඳහා බෙයිජිං හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ පැය 24 පුරා ක්‍රියාත්මක විශේෂ දුරකථන අංකයක් හඳුන්වා දී ඇති බව විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළා.
ඒ අනුව 0086-10-65321861 හෝ 0086-10-65321862 යන දුරකථන අංක හරහා චීනයේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය හරහා සම්බන්ධවිය හැකි බවයි විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළා.