නැවත ශ්‍රී ලංකාවට පැමිණීමෙන් වළකින ලෙස ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය හුබෙයි පලාතේ චීන සමාගම් සේවකයින්ට උපදෙස් ලබාදී තිබෙනවා.
චීන අලූත් අවුරුදු උළෙලින් පසු චීන ජාතිකයින් පැමිණීම පිළිබඳව ශ්‍රී ලාංකික ජනතාවට බියවීමට හේතුවක් නැතැයි විශ්වාස කරන බව මාරාන්තික නව කොරෝනා වෛරසය පිළිබඳව කරුණු දක්වමින් තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
වූහාන් නගරය වෙත ඇතුළුවීම සහ පිටවීම තාවකාලිකව නවතා ඇති අතර එහි වෙසෙන ජනතාවට, ශ්‍රී ලංකාව ඇතුළු වෙනත් රටවල් කරා ගමන් කිරීමට ඉඩක් නොමැති බවයි අදාළ නිවේදනයේ දැක්වෙන්නේ.
එමෙන්ම වෙනත් පළාත්වලින් සහ නගරවලින් චීනයේ සිට ශ්‍රී ලංකාවට පැමිණෙන පුද්ගලයන්ට මෙරටට පැමිණ අවම වශයෙන් දින 14ක නිරෝධායන කාල සීමාවක් ගත කරන ලෙස ද දැනුම් දී ඇති බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.