News Line| Off Air
Generic placeholder image

Jan
31

විශ්‍රාමික යුද හමුදා මේජර් අජිත් ප්‍රසන්න යළි රිමාන්ඩ්

1068 Views


විශ්‍රාමික යුද හමුදා මේජර් අජිත් ප්‍රසන්න යළි රිමාන්ඩ්

විශ්‍රාමික මේජර් අජිත් ප්‍රසන්න සහ නාවික හමුදා බුද්ධි අංශ සාමාජිකයින් දෙදෙනෙකු ලබන 14 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා.

කොළඹ, කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ විභාගවන තරුණයින් එකොලොස් දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් නාවික හමුදා නිලධාරීන් පිරිසකට එරෙහිව පැවැත්වෙන විභාගයට අදාළව මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් සාක්ෂිකරුවන්ට බලපෑම් කළේ යැයි කියන සිද්ධිවක් සම්බන්ධයෙන් විශ්‍රාමික මේජර් අජිත් ප්‍රසන්න සහ නාවික හමුදා බුද්ධි අංශ සාමාජිකයින් දෙදෙනෙකු මෙලෙස රක්ෂිත බන්ධනාගර ගත කර තිබුණා.

මෙම නඩුව අද (31) කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදී රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි මෙම සැකකරුවන් තුන් දෙනා අධිකරණයට ඉදිරිපත් කර තිබුණා. එහිදී සැකකාර අජිත් ප්‍රසන්න මහතා වෙනුවෙන් ඇප ඉල්ලීමක් ඉදිරිපත් කෙරුණා.

එම චෝදනාව සම්බන්ධයෙන් ඇප ලබා දීමට තමන්ට බලයක් නොමැති බව ප්‍රකාශ කළ මහේස්ත්‍රාත්වරයා එම ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කළ අතර රහස් පොලිසිය අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරමින් සඳහන් කළේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදුකරන බවයි.

පරීක්ෂණවල ප්‍රගතිය විමසූ මහෙස්ත්‍රාත්වරයා ප්‍රශ්නගත මාධ්‍ය සාකච්ඡාවට සහභාගි වූ බව කියන කස්තුරිගේ ගාමිණී නමැති සැකකරුගේ බිරිඳ සහ හිටපු එල්ටීටීඊ සාමාජිකයෙකු වන විජය කාන්තන් යන අය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස රහස් පොලිසියට නියෝග කළා.

එමෙන්ම මෙම සිද්ධිය සම්බන්ධයෙන් රහස් පොලිසියේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර, එම පොලිසියේ හිටපු පොලිස් පරීක්ෂකවරයෙකු වන නිශාන්ත ද සිල්වා සහ නාවික ලුතිනන් කමාන්ඩර් චමින්ද වෙලගෙදර යන අයගෙන් ප්‍රකාශ සටහන් කර ගන්නා ලෙසද මෙහිදී මහේස්ත්‍රාත්වරයා විසින් රහස් පොලිසියට නියෝග කරනු ලැබුවා.

අනතුරුව සැකකරුවන් ලබන 14 වන දා දක්වා රිමාන්ඩ් භාරයේ තැබීමට නියම කළ මහේස්ත්‍රාත්වරයා එදින පරීක්ෂණවල ප්‍රගතිය වාර්තා කරන ලෙස ද රහස් පොලීසියට නියෝග කළා.


News Articles
Latest Videos
Most Popular Post