News Line| Off Air
Generic placeholder image

Feb
10

කියාරා එක්සත් රාජධානිය කළඹයි

606 Views


කියාරා එක්සත් රාජධානිය  කළඹයි

කියාරා සුළි කුණාටුවෙන් එක්සත් රාජධානියට දැඩි බලපෑම් එල්ලවී තිබෙනවා. කුණාටුවත් සමඟ එරටට තද වැසි ඇදහැලෙමින් පවතින බව විදෙස් වාර්තා සඳහන්.

කියාරා සුළි කුණාටුව මේ වන විට එක්සත් රාජධානිය හරහා පැයට කිලෝමීටර් 150ක පමණ වේගයකින් හමා යයි. එහි බලපෑමෙන් එංගලන්තයේ ප්‍රදේශ රැසකට සහ වේල්සයට තද වැසි ඇදහැලෙමින් තිබෙනවා.

මේ හේතුවෙන් පහත්බිම් රැසක් ජලයෙන් යටවී ඇති බව එරට වාර්තා සඳහන් කළ අතර කුණාටුවත් සමඟ මුහුදු ප්‍රදේශ බෙහෙවින් රළු ස්වාභාවයක් ගෙන ඇති බවද එම වාර්තාවල සඳහන්.

කුණාටුවත් සමඟ ප්‍රදේශ රැසකම විදුලි බලය ඇණහිට තිබෙනවා. කෙසේ නමුත් ඇතැම් ප්‍රදේශවල විදුලි සැපයුම යථා තත්ත්වයට පත්කිරීමට බලධාරීන් සමත්ව ඇති බව සඳහන්.

අයහපත් කාලගුණයෙන් ගුවන් ගමන් වාර රැසකටද බාධා මතුව තිබූ අතර දුම්රිය ගමනාගමනයත් අඩාල වී තිබුණා. මේ අතර සැඩ සුළඟට ගස්කඩාවැටීම නිසා මහාමාර්ගවල ගමනාගමනයටත් බාධා මතුව තිබෙනවා.

පවතින වාතාවරණය සැලකිල්ලට ගනිමින් එංගලන්තය, වේල්සය සහ ස්කොට්ලන්තයට කාලගුණික අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කිරීමටත් බලධාරීන් පියවර ගෙන තිබුණා.

අයහපත් කාලගුණික තත්ත්වය රටේ ක්‍රීඩා ඉසව් කිහිපයක්ම අවලංගු කිරීමටත් හේතුවී ඇතැයි විදෙස් වාර්තාවල වැඩිදුරටත් සඳහන්.


News Articles
Latest Videos
Most Popular Post