මේ දිනවල පවත්නා දැඩි හිරු රශ්මිය සහ ඒ හේතුවෙන් මතුව ඇති අධික උෂ්ණත්වය සහිත කාලගුණ තත්ත්වය හමුවේ පාසල් මට්ටමින් ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධව සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ පවුල් සෞඛ්‍ය කාර්යාංශය විසින් අධ්‍යාපන අමාත්‍යාංශය වෙත නිර්දේශ ලබා දී තිබෙනවා.
පවතින අධික උෂ්ණත්වය හේතුවෙන් ආතතිය, මස් පිඩු පෙරලීම, සිහි මූර්ච්ඡාව, හෘද රෝග හා පෙනහලු රෝග වැනි නිදන්ගත රෝග උත්සන්න වීමක් දක්නට ලැබෙන බවත්, මෙවැනි සංකූලතා ඇතිවීමට ලක්වන අවදානම් කණ්ඩායමක් ලෙස ළමුන් හඳුනාගෙන ඇති බවත් එමඟින් පෙන්වා දී තිබෙනවා.
ඒ අනුව, ඉහත සංකූලතාවන්ගෙන් පාසල් දරුවන් ආරක්ෂා කරගැනීමට පහත ක්‍රියාමාර්ග ගැනීම යෝග්‍ය බවසෞඛ්‍ය කාර්යාංශය දන්වා ඇති බවයි නිවේදනයක් නිකුත්කරමින් අධ්‍යාපන අමාත්‍යංශය පැවසුවේ.
නිතර නිතර ජලය පානය කිරීම, සීනි අධික බීම භාවිතයෙන් වැළකීම, එළිමහනේ සිටින විට ඔලුව වැසෙන සේ තොප්පි පැළඳීම, එළිමහනේ ගමන්කරන සෑමවිටම කුඩයක් පාවිච්චි කිරීම, අනවශ්‍ය පරිදි එළිමහනේ ගැවසීම අවම කිරීම, ලා පැහැති සැහැල්ලු ඇඳුම් ඇඳීම, අධික රස්නය ඇතිවිට මුහුණේ සහ අත්වල වතුර ගෑම, දෛනිකව වඩාත්ම උෂ්ණත්වය වැඩි වන කාල පරාසය වන පෙ.ව. 11.00 හා ප.ව. 3.00, 3.30 තුළ එළිමහනේ අධික දහඩිය දමන ව්‍යායාම නොකිරීමට ද ඒ අනුව උපදෙස් ලබා දෙන ලෙස දැනුම් දී තිබෙනවා.
මේ අතර පාසල තුළ බීමට ජලය ඇති පමණ සපයා තිබීම, හැකිනම් කඩදාසිවලින් සෑදූ අවානක් රැගෙන ඒමට උපදෙස් දීම, විශේෂයෙන්ම පාසල්වල ප්‍රථමාධාර කණ්ඩායම් මේ සම්බන්ධව දැනුවත් කර හා පුහුණු කර තිබීම, ළමුන් හා ගුරුවරුන් ද දැනුවත් කිරීම, සෞඛ්‍ය ගැටළු මූලික අවස්ථාවේ දීම හඳුනාගනිමින් ප්‍රථමාධාර ලබාදීම හා ගැටළුසහගත අවස්ථාවල දී වහාම වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු කිරීම ආදිය මෙම නිවේදනයෙ සදහන්.
එමෙන්ම ශරීරය වියළීම වළක්වා සිසිල් කරගැනීමට පන්ති මට්ටමෙන් ජල බඳුන් තැබීම, පන්ති කාමර සඳහා වාතාශ්‍රය හොඳින් ලැබීමට දොර ජනෙල් විවෘත ව තැබීම, රෝගී තත්ත්වයන් සහිත දරුවන් සුව වන තෙක් පාසලට නොඑවීමට දෙමාපියන් දැනුවත් කිරීම ට ද පාසල් මට්ටමින් පියවර ගත යුතු බව එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙනවා.