බිංගිරිය ප්‍රදේශයේ රජයේ විදුහලක විදුහල්පතිනියක් සිදුකළ පහරදීමකින් සිසුවියකගේ ඇසක් නොපෙනියාමේ සිදුවීමක් සම්බන්ධයෙන් ගම්වැසියන් පිරිසක් අද (12) විරෝධතාවයක නිරත වුනා.
පසුගිය 03 වැනි දින පාසල් කාලය තුළ මේ පහර දීම සිදුව ඇති අතර මෙලෙස ඇසක පෙනීම අහිමිව ඇත්තේ බිංගිරිය බෝවත්ත කඩිගමුව ග්‍රාමයේ ජිවත් වන නෙත්මි සමදරා නමැති සිසුවියගේයි.
12 හැවිරිදි මෙම සිසුවිය විද්‍යාලයේ නිවාසාන්තර තරගයේ නරඹන්නියක් ලෙස කටයුතු සිදු කිරීමේදී විදුහල්පතිනිය එල්ල කළ කෝටු පහරක් ඇගේ ඇසක වැදී ඇති බව සඳහන්.
එම අවස්ථාවේදී සිසුවිය බීම ඇද වැටී ඇති මුත් විදුහල්පතිනිය සිසුවිය ගැන සොයා නොබලා කටයුතු කර ඇති බවද පසුව විදුහලේ වෙනත් ගුරුවරියක් මැදිහත්ව ඇයට ප්‍රථමාධාර දී ඇති බවද වාර්තා වුනා.
පසුව පෞද්ගලික බෙහෙත් ශාලාවකින් ප්‍රතිකාර කර තිබෙන අතර එහිදී වෛද්‍යවරයාට අසත්‍ය දේ කීමට විදුහලේ තවත් ගුරුවරියන් දෙදෙනෙකු කටයුතු කර තිබෙනවා.
ඒ හේතුවෙන් දරුවාට බෙහෙත් විෂ වී පසුව නොනවත්වා වමනය යාම නිසා සිදුවිම වූ දිනට පසුදින කුලියාපිටිය රෝහලට ඇතුලත් කර තිබෙනවා.
කුලියාපිටිය රජයේ රෝහලට ඇතුලත් කිරීමෙන් පසු වහාම මෙම දැරිය කොළඹ අක්ෂි රෝහල වෙත මාරු කර යැවීමට කුලියාපිටිය රෝහලේ බලධාරීන් කටයුතු කර තිබෙනවා.
අක්ෂි රෝහලේ දින හතරක කාලයක් ප්‍රතිකාර කිරීමෙන් පසු දැරිය නිවසට ඒවා ඇති මුත් දැරියගේ ඇස් නොපෙනීම සම්පුර්ණයෙන් සුව වී නැහැ.
මේ සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙස බලධාරීන්ගෙන් දැරියගේ පියා ඉල්ලා ඇතත් මේ දක්වා කිසිදු පරීක්ෂණයක් සිදුව නොමැති බව දැරියගේ පියා සදහන් කළා.
තමන්ට අවශ්‍ය වන්දියක් නොව තම දරුවාගේ නොපෙනී ගිය ඇසේ පෙනීම නැවත ලබා ගැනීම බව දැරියගේ පියා වැඩිදුරටත් පවසනවා.
මෙම විරෝධතාවය පැවති ස්ථානයට බිංගිරිය පොලිසියේ ස්ථානාධිපතිවරයා පැමිණ සිටි අතර මේ පිලිබදව පැමිණිල්ලක් ලැබී ඇති බවත් ඒ පිලිබද වැඩිදුර පරීක්ෂණ සිදු කරන බවත් ඔහු පැවසුවා.