ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ලබන මැයි මාසයේ ජපානයේ නිල සංචාරයක නිරත වීමට නියමිතව තිබෙනවා. ජපානයේ ටෝකියෝහි මැයි මස 28 සහ 29 පැවැත්වෙන ආසියාවේ අනාගතය නමැති ගෝලීය සම්මන්ත්‍රණයට සහභාගී වීම සඳහා ජනාධිපතිවරයා ජපානයේ සංචාරයක නිරත වීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළා.
අදාළ සම්මන්ත්‍රණය සඳහා සහභාගී වන ලෙස ශ්‍රී ලංකාවේ ජපාන තානාපති අකිරා සුගියාමා මහතා ඊයේ පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට නිල වශයෙන් ආරාධනා කර තිබෙනවා.
ආසියාවේ අනාගතය යන ගෝලීය සම්මන්ත්‍රණයේදී නව අදහස් එක් කරන දකුණු ආසියාවේ ප්‍රමුඛතම නායකයෙකු ලෙස ජනාධිපති ගෝඨාභය රාජජපක්ෂ මහතාගේ සහභාගීත්වය කැපී පෙනෙනු ඇති බව ජපාන තානාපතිවරයා ප්‍රකාශ කර ඇති බව වාර්තා වෙනවා.සමෘද්ධිමත් කලාපයක් නිර්මාණය කිරීමේ අරමුනින් වාර්ෂිකව පැවැත්වෙන මෙම සම්මන්ත්‍රණය 1995 වර්ෂයේ ආරම්භ වූ අතර සම්මන්ත්‍රණයට ආසියා ශාන්තිකර කලාපයේ රාජ්‍ය නායකයින්, ව්‍යාපාරිකයින් සහ බුද්ධිමතුන් සහභාගී වීමට නියමිතව තිබෙනවා.
මේ අතර බාධක ඉවත් කර දේශීය කර්මාන්ත සහ ආයෝජකයින් දිරිගැන්වීමට පියවර ගන්නා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දි තිබෙන අතර කර්මාන්ත හා ව්‍යවසාය සංවර්ධනය සදහා වු අන්තර් අමාත්‍යාංශ කාර්යය සාධක බලකාය සමග ඊයේ පස්වරුවේ පැවති හමුවකදී ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබාදුන් බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළා.