News Line| Off Air
Generic placeholder image

Feb
19

අත්අඩංගුවට ගැනීම වළක්වන්නැයි ඉල්ලා විනිසුරු පිලපිටියගෙන් පෙත්සමක්

530 Views


අත්අඩංගුවට ගැනීම වළක්වන්නැයි ඉල්ලා විනිසුරු පිලපිටියගෙන් පෙත්සමක්

තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ අතුරු නියෝගය නිකුත් කරන මෙන් ඉල්ලා වැඩ තහනමකට ලක්ව සිටින හිටපු මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය මහතා විසින් අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා.

එම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස පොලිස්පතිවරයා, කොළඹ අපරාධ කොට්ඨාශය අධ්‍යක්ෂවරයා ඇතුළු පිරිසක් නම් කර තිබෙන අතර මෙම පෙත්සම සලකා බැලීම සඳහා අද (19) පෙරවරුවේ අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු ඒ.එච්.එම්. නවාස් සහ අර්ජුන ඔබේසේකර යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ලක් ඉදිරියේ කැඳවනු ලැබුවා.

එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මිලින්ද ගුණතිලක මහතා මෙම ඉල්ලීම ප්‍රතික්ෂේප කරන ලෙස තමන් මූලික විරෝධතාවක් මතු කරන බව සඳහන් කළ අතර තමන්ව අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපතිවරයා විසින් වැඩබලන පොලිස්පතිවරයාට නියෝගයක් නිකුත් කර ඇති බවට පෙත්සම්කරු සිය පෙත්සමෙන් සඳහන් කර තිබෙන කරුණ අසත්‍ය මෙන්ම විකෘති කරන ලද්දක් බව චෝදනා කර සිටි නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් මිලින්ද ගුණතිලක මහතා එවැනි නියෝගයක් නීතිපතිවරයා විසින් පොලිස්පතිවරයා වෙත ලබා දී නොමැති බව සඳහන් කළා.

නිසි අධිකරණයක් වෙත කරුණු වාර්තා කර වරෙන්තුවක් ලබා ගන්නා ලෙස පමණක් නිතිපතිවරයා විසින් මෙහිදී පොලිස්පතිවරයාට උපදෙස් ලබාදී තිබෙන බව රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා සඳහන් කර සිටියා.

එම ඉල්ලීමට දැඩි විරෝධය පළ කළ ගිහාන් පිලපිටිය මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා නීතිපතිවරයා විසින් පෙත්සම්කරු අත් අඩංගුවට ගන්නා ලෙස පොලිස්පතිවරයාට නියෝගයක් නිකුත් කර තිබූ බව ජනමාධ්‍ය ඔස්සේ පළකර තිබූ බව පැවසු අතර නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරිනියක් ජනමාධ්‍යවලට කරුණු දක්වමින් මෙවැනි නියෝගයක් ලබාදී තිබෙන බව සඳහන් කර තිබු බව පෙන්වා දුන් ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා එම වාතාවරණය හමුවේ නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අධිකරණයට පැමිණ මෙවැනි තොරතුරු ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් එම දෙපාර්තමේන්තුව ලැජ්ජාවට පත්විය යුතු බවට ද අවධාරණය කර සිටියා.

මෙම අවස්ථාවේදී ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා සහ නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල් මිලින්ද ගුණතිලක යන මහත්වරු අතර උණුසුම් වචන හුවමාරුවක් ද සිදු වූ අතර අනතුරුව පෙත්සම සලකා බැලීම අද දහවල් සිදු කිරීමට අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල තීරණය කළා.

හිටපු අමාත්‍ය රන්ජන් රාමනායක මහතාගේ ආන්දෝලනාත්මක දුරකථන සංවාද සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන ලද පරීක්ෂණයක අදාළව තමන්ව අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපතිවරයා විසින් වැඩබලන පොලිස්පති වරයා වෙත නිකුත් කර තිබෙන නියෝගය බල රහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය මහතා විසින් පෙත්සම ඉදිරිපත් කර තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post