සම්පූර්ණයෙන් මුහුණු ආවරණය වන බුර්කාව වැනි මුහුණු ආවරණ වහා තහනම් කරන ලෙසත් වාර්ගික හා ආගමික පදනමින් දේශපාලන පක්ෂ ලියාපදිංචිය අත්හිටුවන ලෙසත් ජාතික ආරක්ෂාව පිළිබද ආංශික අධීක්ෂණ කාරක සභාව පාර්ලිමේන්තුවට යෝජනා කර තිබෙනවා.
පාස්කු ප්‍රහාරයෙන් පසු සමාජය තුළ මතභේදයට තුඩු දුන් කරුණු 14කට විසදුම් යෝජනා ඉදිරිපත් කරමින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් වු විශේෂ වාර්තාවේ මේ බව සදහන්.
මෙම වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද්දේ එම කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මලිත් ජයතිලක මහතා විසින්.
මේ වන විට රටවල් ගණනාවක් බුර්කාව තහනම් කර ඇති බවත් 2019 සැප්තැම්බර් 5 වන දින සිරියාවේ පිහිටි ISIS මූලස්ථානයද බුර්කාව තහනම් කළ බවත් මෙම වාර්තාවේ සදහන් වනවා.
එමෙන්ම යම්කිසි පුද්ගලයෙකු ප්‍රසිද්ධ ස්ථානයක මුහුණු ආවරණය කරගෙන සිටින විටදී අනන්‍යතාව තහවුරු කරගැනීම සදහා එම මුහුණු ආවරණ ඉවත් කිරීමට යමෙක් අවනත නොවේ නම් අදාල පුද්ගලයා අත්අඩංගුවට ගැනීමේ බලය ද පොලිසියට තිබිය යුතු බව මෙම වාර්තාවෙන් යෝජනා කර තිබෙනවා.
වාර්ගික හා ආගමික පදනමින් දේශපාලන පක්ෂ ලියාපදිංචිය අත්හිටුවීමට අවශ්‍ය නීති පැනවීම සදහා මැතිවරණ කොමිසමට මෙම වාර්තාව මගින් නිර්දේශ ඉදිරිපත් කොට ඇති බව සදහන්.
මේ අනුව අදාළ පක්ෂ නාමයන් හෝ එහි ව්‍යවස්ථාව තුළ යම් වාර්ගික හෝ ආගමික ගැටුම්කාරි තත්ත්වයක් ඇති දේශපාලන පක්ෂ ලියාපදිංචිය තහනම් කිරීමත් දැනට එවැනි පක්ෂයක් ඇති නම් එය නිශ්චිත කාලයක් ඇතුළත (වසර 2-3)ආගමික හෝ වාර්ගික නොවන දේශපාලන පක්ෂයක් බවට පත් කළ යුතු බවටත් නිර්දේශ ඉදිර්පත් කොට තිබෙනවා.
වසර 03 ක් ඇතුළත මද්‍රාසා ආයතනවල ඉගෙනුම ලබන සිසුන් සියලු දෙනා අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ ඇති සාමාන්‍ය පාසැල් පද්ධතියට අන්තර් ග්‍රහණය කළ යුතු බව ද මෙම වාර්තාවේ වඩිදුරටත් සදහන්.