ඇතිව තිබෙන සුළු අසනීප තත්ත්වයක් හේතුවෙන් අති උතුම් ෆ්රැන්සීස් ශුද්ධෝත්තම පාප්වහන්සේ අද දිනයේදී රෝමයේ පැවැත්වීමට සුදානම් කර තිබු දේව මෙහෙයට සහභාගී වී නොමැති බව වාර්තා වනවා.
නව කොරෝනා වෛරසයෙන් පිඩා විදින ජනතාවට සහයෝගය පළ කරන බවට උන්වහන්සේ ඉකුත්දා බැසිලිකාවේ සාන්ත පීතර චතුරශ්‍රයට රැස්ව සිටි ජනතාවට ප්‍රකාශ කර ඇති අතර උන්වහන්සේ ජනතාව අතරට යමින් ඔවුන්ට ආශිර්වාද කරමින් සහ හිස සිප ගනු ලැබූ බව සදහන්.
එම දිනයට පසුදින ශුද්ධෝත්තම පියතුමන් අළු බදාදා දින දේව මෙහෙයට සහභාගීවූ අතර එහිදී උන්වහන්සේ යම් අසනීප තත්ත්වයකින් පෙලෙන අයුරු පෙන්නුම් කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.
මේ වන විට ඉතාලිය ඇතුළු යුරෝපයේ රටවල් ගණනාවක නව කොරෝනා ආසාධිත රෝගීන් හමුවී ඇති අතර ශුද්ධෝත්තම පියතුමන් කිසිදු ආරක්‍ෂිත ආවරණයක් නොපැළද ජනතාව අතරට ගොස් ඔවුන් සමග සිටීමෙන් අනතුරුව රෝග ලක්ෂණ පෙන්නුම් කිරිම සම්බන්ධයෙන් විදෙස් මාධ්‍ය අවධානය යොමු කරනවා.
මේ අතර ශුද්ධෝත්තම පියතුමන් සිය දෛනික කටයුතු සිදුකරමින් සිටින බවත් වතිකානු දේව මන්දිරයෙන් පිටත සංචාරය කිරිමට බලාපොරොත්තුවක් නොමැති බවත් උන්වහන්සේගේ මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා.
කෙසේ වුවත් උන්වහන්සේගේ අසනීප තත්ත්වය ගැන මේ දක්වා කිසිදු නිල ප්‍රකාශයක් වතිකානුව විසින් සිදුකර නොමැති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් පැවසුවා.