ගත වූ පැය 24 තුළ දකුණු කොරියාවෙන් කොරෝනා ආසාදිතයින් 594 දෙනෙකු වාර්තා වනවා.
එය දකුණු කොරියාවේ දිනකදී වාර්තා වූ වැඩිම ආසාදිත සංඛ්‍යාව යි. ඒ අනුව දකුණු කොරියාව තුළ මේ වන විට වාර්තා වී ඇති ආසාදිතයින් සංඛ්‍යාව 2931 ක් වන අතර මරණ 16ක් ද එරටින් වාර්තා වනවා.
චීනයෙන් පිටත වැඩිම කොරෝනා වෛරස් ආසාදිතයන් පිරිසක් සිටින්නේ ද දකුණු කොරියාවේයි.
මේ අතර, කොවිඩ් නයින්ටීන් හෙවත් නව කොරෝනා වෛරසය තම රට තුළ පැතිරීම වැළැක්වීමට නොහැකි වුවහොත් දැඩි ප්‍රතිවිපාකවලට මුහුණදීමට සිදුවිය හැකි බවට උතුරු කොරියානු නායක කිම් ජොං අන් සිය පක්ෂයේ ප්‍රධානීන්ට අනතුරු අගවා තිබෙනවා.
සාපේක්ෂව දුර්වල සෞඛ්‍ය ආරක්ෂණ පද්ධතියක් සහිත උතුරු කොරියාව වෛරසය පැතිරීම වැළැක්වීමේ අරමුණෙන් දැනටමත් සිය දේශසීමා වසා දමා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.
මහජන ආරක්ෂාව උදෙසා සියළු පියවර ගත යුතු බව උතුරු කොරියානු කම්කරු පක්ෂයේ ඉහළ පෙළේ නිළධාරීන් අමතමින් කිම් ජොං අන් වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.
එමෙන්ම උතුරු කොරියාවට කොරෝනා වෛරසය හා සටන් වැදීම සඳහා අවශ්‍ය උපකරණ අපනයනය කිරීමට එරට වෙත පනවා ඇති සම්බාධක ලිහිල් කරන ලෙස ජගත් සංවිධානයේ ජර්මානු තානාපතිවරයා ආරක්ෂක මණ්ඩලයෙන් ඉල්ලීමක් කර ඇති බව සදහන්.
මේ අතර ඉතාලියෙන් කොරෝනා ආසාදිතයින් 889 ක් වාර්තා වන අතර එරටින් මරණ 21ක් ද වාර්තා වනවා.
මේ වන විට කොවිඩ් නයින්ටීන් හෙවත් කොරෝනා වෛරසයෙන් පුද්ගලයින් 2920 දෙනෙකු මිය ගොස් ඇති අතර, ආසාදිත සංඛ්‍යාව 85,180ක් දක්වා ඉහළ ගොස් ඇති බව විදෙස් වාර්තා පවසනවා.
මේ අතර උණ සහ කැස්ස රෝග ලක්ෂණ සහිතව අයි.ඩී.එච්. රෝහල වෙත ඇතුළත් කර සිටි ඉතාලියේ සිට පැමිණි ශ්‍රී ලාංකිකයන් දෙදෙනා ඇතුළු සිව් දෙනාට කොවිඩ් නයින්ටීන් ආසාදනය වී නොමැති බව තහවුරු වී තිබෙනවා.
ඒ, ඔවුන්ගේ ජෛව සාම්පල බොරැල්ල වෛද්‍ය පර්යේෂණ ආයතනයේදී පරීක්ෂාවට ලක් කිරීමෙන් අනතුරුවයි.
එමෙන්ම, උණ රෝග ලක්ෂණ සහිත තවත් පුද්ගලයන් 7 දෙනෙකු ගාල්ල – කරාපිටිය ශික්ෂණ රෝහල, කුරුණෑගල ශික්ෂණ රෝහල, ගම්පහ, සහ රත්නපුර යන රෝහල්වලට ඇතුළත් කර සිටින බව වසංගත රෝග විද්‍යා අංශය නිවේදනය කළා.
ඒ අනුව, මේ වනවිට දැනට කොරෝනා වෛරස් ආසාදනය පිළිබඳ සැකයෙන් රෝහල් ගත කර වෛද්‍ය අධීක්ෂණය යටතේ සිටින මුළු සංඛ්‍යාව 9ක් බවයි වසංගත රෝග විද්‍යා අංශය ප්‍රකාශ කළේ.
ඒ අතර විදේශිකයෙකු ද සිටින බව සඳහන්.