2016 වසරේ රාජගිරිය ප්‍රදේශයේ ඇති වු රිය අනතුරු සිද්ධියේ සැකකරුවකු ලෙස නම් කර සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා වෙත පනවා තිබු විදෙස් ගමන් තහනම තාවකාලික ඉවත්කර තිබෙනවා. ඒ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය කරන ලද නියෝගයකට අනුවයි.
මෙම නඩුව අද කැදවනු ලැබූ අවස්ථාවේදී චම්පික රණවක මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් තම සේවාදායකයාට අප්‍රේල් මස 26 වනදා සිට මැයි මස 12 වනදා දක්වා කාලසීමාව තුළ ඕස්ට්‍රේලියාවේ සංචාරය කිරීමට අවශ්‍යතාවයක් මත හෙයින් එම කාල සීමාව සඳහා දැනට අධිකරණය මගින් පනවා තිබෙන විදේශ ගමන් තහනම ලිහිල් කරන ලෙස ඉල්ලා සිටියා. ඊට ප්‍රතිචාර දක්වමින් කොළඹ අපරාධ කොට්ඨාශයේ සහකාර පොලිස් අධිකාරිනී නෙවිල් ද සිල්වා මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් අධිකරණය විසින් නියම කරනු ලබන කොන්දේසි මත එම සහනය ප්‍රදානය කිරීම සම්බන්ධයෙන් විරුද්ධ නොවන ලෙස නීතිපති දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පිරිස් මහතා තමාට උපදෙස් ලබාදී ඇතැයි සඳහන් කළා.