දියවැඩියාව බෝ නොවන රෝගයක් වුනාට දැන් වසන්ගතයකටත් වඩා භායනක ලෙඩක් වෙලා. දොස්තරලා කියන විදිහට බෝ නොවන ලෙඩ වර්ග අතරින් උඩින්ම තියෙන ලෙඩක් තමයි දියවැඩියාව කියන්නේ. මේ ලෙඩේ තියෙන භයානකම තත්වේ තමයි අපිව ටිකෙන් ටික මරණයට ලගා කරන රෝගයක් වීම. ඒ කියන්නේ මේ ලෙඩේ හැදුනා කියලා එකපාරටම මැරෙන්නේ නෑ. ඒ නිසාම ඉංග්‍රීසියෙන් මේ රෝගය හඳුන්වන්නේ Silent Killer (නිහඬ මාරයා) කියලා.
මේ වෙද්දී ආසියානු රටවල දියවැඩියාව රෝගය විශාල ලෙස වර්ධනය වෙන තත්වයකට පත්වෙලා. මේකට ආසන්නතම හේතුව විදිහට පර්යේෂකයන් කියන්නේ, අසමතුලිත ආහාර රටාව කියල. එයාලා කියන්නේ වැඩි වශයෙන් ක්ෂණික ආහාර රටාවකට ගොඩක් දෙනා පුරුදු වෙලා නිසා මේ ලෙඩේ හැදෙන ප්‍රවණතාවය වැඩියි කියලා. ඉතින් ශාකමය ආහාර වැඩිපුර අපේ කෑමට එකතු කරගන්න පුළුවන් නම්, දියවැඩියාව හැදෙන්න තියෙන අවධානම අඩු කරගන්න පුළුවන්. ඉස්සර කාලේදී නම් අපේ මුතුන්මිත්තන් බත් වලට අමතරව පලා, එළවළු වර්ග, ඇට වර්ග කෑමට ගත්තා. එත් මේ ආහාර වර්ග වලින් දැන් ඉන්න පරම්පරාව ගොඩාක් දුරට ඈත් වෙලා.
දියවැඩියාව හැදිලා අපේ ඇඟේ තියෙන සිනි මට්ටම අඩු හෝ වැඩි වුන පමණින්ම අපි මැරෙන්නේ නෑ. ඇස් අන්ධ වීම, වකුගඩු අක්‍රිය වීම, හදවත් රෝග, සුව නොවන තුවාල ඇතිවීම වගේ අතුරු රෝග හැදිලා, ටිකෙන් ටික තමයි මැරෙන්නේ. ඒ නිසා පුළුවන් තරම් ශාක ආහාර අපේ කෑම වේලට එකතු කරගෙන මේකෙන් වැළකෙන්න පුළුවන් කියල තමයි පර්යේෂකයෝ පෙන්වලා දෙන්නේ.