අද තමයි දවස… පරාජයේ රැල්ලට තිත තියන, සිංහයින් ආයිත් නැගිටින, වැලි කතරේ සංග්‍රාමය. පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය පටන් ගන්න තව වැඩි වෙලාවක් නැහැ. ශ්‍රී ලංකා වේලාවෙන් පෙරවරු 11.30ට Match එක පටන් ගන්නවා.
කොහොම වුනත් අද ශ්‍රී ලංකාව වගේම පාකිස්ථානයත් ශේයික් සයිඩ් ක්‍රීඩාංගණයට පිවිසෙන්නේ ප්‍රභලම පිතිකරුවෝ දෙන්නෙක් නැතුව. අවුරුදු 17 ක් පුරා පාකිස්තානයේ ටෙස්ට් ක්‍රිකට් වල කැපී පෙනෙනම ක්‍රීඩකයන් වුනු යුනිස් ඛාන් සහ මිස්බා උල් හක් නැතුවයි පකිස්ථානය ජය සොයා යන්නේ. එතකොට ලංකාව අද ජය කණුව සොයා යන්නේ හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස් සහ අසේල ගුණරත්න නොමැතිවයි.
පසුගිය අවුරුදු 7 ක කාලය පුරාම මිස්බා හෝ යුනිස් ඛාන් දෙදෙනාගෙන් අයකු නැති ටෙස්ට් තරගයක් පාකිස්තානයට තිබුනේ නැහැ. මේ දෙදෙනා එක්ව ටෙස්ට් තරග 193 කදී ලබාගත් ලකුණු සංඛ්‍යාව 15,331 කි. දෙදෙනා අතර පැවැති ශතක සම්බන්ධතා ගණ 5 ක්.
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී ලකුණු රැස්කිරීම විනෝදයක් කරගත් මේ පිතිකරුවන් දෙදෙනා සිටි පාකිස්තානු කණ්ඩායම් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී ටෙස්ට් තරගාවලි 9කට සහභාගි වී ඇතත් ඒ එකක්වත් පරාජය වෙලා නැහැ. කොහොම වුනත් ඔවුන් දැන් විශ්‍රාම ගිහින්.
තත්වය එහෙම වුනත් ශ්‍රී ලංකා නායක දිනේෂ් චන්දිමාල් කියන්නේ පාකිස්තානය පරාජයකරන්න නම් ශ්‍රී ලංකා පිලේ දස්කම් වඩාත් උසස් තලයකට නංවාගත යුතු බව. ඒක බොහොම තියුණු අවවාදයක්.
“යුනිස් හා මිස්බා කියන්නේ අති විශිෂ්ට ක්‍රීඩකයන් දෙන්නෙක්. ඔවුන් දෙන්නාම මේ කණ්ඩායමේ නැති නිසා අපට ඒක තරමක වාසියක් තමයි….ඒත් පාකිස්තානය පරාජය කරන්න නම් අපේ දස්කම් මීට වඩා ඉහළ නංවා ගත යුතුයි” කියලයි චන්දි ඩුබායි වලදී කිවුවේ.
ඉන්දියානුවන් හමුවේ ලබපු ඛේදජනක පරාජයේ වේදනාවෙන් පීඩිත ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු නික් පොතාස් පහුගිය දවසක කිවුවේ මේ අපේ ‘සංක්‍රාන්ති සමය’ කියලයි. ඒත් ඒ කතාව අපේ ක්‍රීඩකයොන්ට එච්චර ඇල්ලුවේ නැහැ. අද ශ්‍රී ලංකා පිලට එකම සහනය ප්‍රධානතම වේග පන්දු යවන්නන් දෙදෙනා වන නුවන් ප්‍රදීප් සහ සුරංග ලක්මාල් දෙදෙනා ආබාධ වලින් සුවය ලබා නැවතත් කණ්ඩායමට එක්වීමයි.
කණ්ඩායමේ සිටින ප්‍රධානතම වේග පන්දු යවන්නන් දෙදෙනා වුනත් මේ දෙන්නටම තියෙන්නේ එච්චර ලස්සන තරග වාර්තා නෙවෙයි. වසර 7 ක් පුරා ශ්‍රී ලංකා පිල නියෝජනය කරමින් ටෙස්ට් තරග 37 කට සහභාගි වී සිටින සුරංග ලක්මාල් ඉනිම 66 කදී දවාගෙන තියෙන්නේ ටෙස්ට් කඩුලු 82 ක් පමණි. සාමාන්‍යය ඉනිමකදී 10 කදී කඩුලු 12 කි.
වසර 6 ක් තිස්සේ ටෙස්ට් තරග 26 ක ඉනිම 49 කදී පන්දු යවලා තියෙන නුවන් ප්‍රදීප් දවාගෙන තියෙන්නේ කඩුලු 67 ක් විතරයි. සාමාන්‍යය ඉනිම 10 කදී කඩුලු 14 ක්. ඉතින් මේ තත්ත්වය යටතේ ශ්‍රී ලංකා පිලට ඇති එකම බලාපොරොත්තුව දඟ පන්දු යවන්නන් වන රංගන හේරත් සහ ඩිල්රුවන් පෙරේරා විතරයි. මේ දෙදෙනාගෙන් රංගන හේරත්ට පාකිස්තානුවන් හමුවේ තියෙන්නේ අති විශිෂ්ට වාර්තාවක්.
වසර 2009 දී දෙවැනි වතාවටත් ශ්‍රී ලංකා පිලට කැඳවූ දා පටන් පාකිස්තානු පිතිකරුවන් අමාරුවේ දැමීම පුරුද්දක් කරගත් රංගන හේරත් පාකිස්තනයට එරෙහිව පැවැති ටෙස්ට් තරග 19 කදී කඩුලු 90 ක් දවාගෙන තිබේ. තවත් අඩ වසරකින් 40 වැනි වියට පා තබන, ටෙස්ට් තරග 83 කට සහභාගි වී සිටින මෙම සුවිශේෂී වමත් දඟ පන්දු යවන්නාට සිය 400 වැනි ටෙස්ට් කඩුල්ල සඳහා අවශ්‍යව ඇත්තේ කඩුලු 11 ක් විතරයි.
ආබාධ වලින් සුවය ලබා සිටින යසීර් ෂා නැවතත් කණ්ඩායමට එක්වීම නිසා ශ්‍රී ලංකා පිතිකරුවන් හමුවේත් ඇත්තේ සුළුපටු අභියෝගයක් නෙවෙයි. ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර අවසන් වරට ශ්‍රී ලංකාවේදී පැවැති තරගාවලියේදී පාකිස්තානු පිල 2-1 තරගාවලි ජයක් ලබාගත් අතර යසීර් ෂා කඩුලු 24 ක් දවා ගන්නට .සමත් වුනා. තවමත් ටෙස්ට් වරම් නොලද දඟ පන්දු යවන්නන් වන මොහොමඞ් අස්ගර් සහ බිලාල් අසිෆ් දෙදෙනාත් යසීර් ෂාගේ සහායට මේ පාර ඉන්නවා. ඒ හැමදාමත් ශ්‍රී ලංකා පිතිකරුවන් අමාරුවේ දමන වේග පන්දු යවන්නන් වන මොහොමඞ් අමීර් සහ වහබ් රියාස් දෙදෙනාට අමතරවයි.
ශ්‍රී ලංකා සංචිතය
දිනේෂ් චන්දිමාල් (නායක), ළහිරු තිරිමාන්න (උප නායක), දිමුත් කරුණාරත්න, කෞෂාල් සිල්වා, කුසල් මෙන්ඩිස්, සධීර සමරවික්‍රම, රොෂේන් සිල්වා, නිරෝෂන් දික්වැල්ල, රංගන හේරත්, ලක්ෂාන් සඳකැන්, ඩිල්රුවන් පෙරේරා, සුරංග ලක්මාල්, නුවන් ප්‍රදීප්, විශ්ව ප්‍රනාන්දු සහ ළහිරු ගමගේ
පාකිස්තානු සංචිතය
සර්ෆ්‍රාස් අහමඞ් (නායක), අසාර් අලි, ෂාන් මසූඞ්, සාමි අස්ලම්, බාබර් අසාම්, අසාඞ් ෂෆීක්, හැරිස් සොහේල්, උස්මන් සලාවුද්දීන්, යසිර් ෂා, මොහොමඞ් අස්ගර්, බිලාල් අසීෆ්, මීර් හම්සා, මොහොමඞ් අමීර්, හසන් අලි, මොහොමඞ් අබ්බාස් සහ වහබ් රියාස්