පහුගිය දවස් වල හැමෝගෙම අවධානය දිනා ගත්ත ලංකාවේ කෝඩුකාර ලකුණු මැෂිම, සදීර අද තරඟයට ක්‍රීඩා කරන්න බොහෝ දුරට ඉඩ තියෙනවා. දෙමවුපියන් ලාහෝර් යනවට අකමැති වුණු නිසා සදීරගේ අබුඩාබි ගමන ටිකක් පරක්කු වුණා. කොහොම වුණත් අන්තිමේදී සදීර සාජා ගියා. ඒ අනුව අද ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්දින වරම් හිමිකරගත් 185 වන ක්‍රීඩකයා වෙන්න සදීරට පුළුවන් වේවි.
ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර 4 වෙනි එක්දින තරඟය අද පැවැත්වෙන්නේ සාජා ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී. ලංකාවේ වෙලාවෙන් හවස 3.30 ට තරඟය අාරම්භ වෙනවා. සාජා ක්‍රීඩාංගනය කියන්නෙ පාකිස්තානයට වගේම ලංකාවටත් හොදට හුරු පුරුදු ක්‍රීඩාංගනයක්. එ් නිසා කණ්ඩායම් දෙකේම මේ ක්‍රීඩාංගනයේ දක්ෂතා මොනවද කියලා අපි හොයලා බැලුවා.
සාජා ක්‍රීඩාංගනය හැදින්වෙන්නෙ පාකිස්තාන කණ්ඩායමේ Home Ground එක විදිහට. එ් තරමටම පාකිස්තානයට සාජා පිටිය සමීපයි. ඔවුන් සාජා වලදී තරඟ 122 කට ක්‍රීඩා කරලා තියෙනවා. ඉන් තරඟ 81 දිනද්දි තරඟ 40 ක් පැරදිලා තියෙනවා. එ් වගේම ජය පරාජයෙන් තොරව නිමාවුන එකම තරඟය ක්‍රීඩා කරලා තියෙන්නෙ ලංකාව එක්ක.
පාකිස්තානයට පස්සෙ සාජා වල වැඩිම එක්දින තරඟ ක්‍රීඩා කරලා තියෙන්නෙ ලංකාව. එ් තරඟ 78 ක්. තරඟ 29 ක් දිනපු ලංකාව තරඟ 47 ක් ම පරාජය වෙලා තියෙනවා. එ් වගේම තරඟ 2 ක් ජය පරාජයෙන් තොරව අවසන් කරලා තියෙනවා.
සාජා ක්‍රීඩාංගනයේ කණ්ඩායමක් රැස් කරපු වැඩිම ලකුණු ගණන වෙන්නෙ 364. පාකිස්තානය තමයි එ් වාර්තාවට හිමිකම් කියන්නෙ. ලංකාව සාජා පිටියේ රැස් කරපු වැඩිම ලකුණු ගණන 329 ක්. ලංකාවේ අඩුම ලකුණු ගණන 55 ක්. පාකිස්තානය සාජා වල රැස් කරපු අඩුම ලකුණු ගණන 37 ක්. එ් වගේම විශේෂ කාරණය තමයි සාජා ක්‍රීඩාංගනයේ පළවෙනි තරඟය පවත්වලා තියෙන්නෙ ලංකාව සහ පාකිස්තානය අතර. එ් තරඟයේදී ලංකාව කඩුලු 5 කින් දිනලා තියෙනවා.
පිතිකරුවන්ගේ පාරාදීසයක් වුන සාජා පිටියේදී ලකුණු 200 සීමාව ඉතාම පහසුවෙන් පහු කරන්න පුළුවන්. ඒ නිසාම සාජා ක්‍රීඩාංගනයේ පළවෙනි ඉනිමේ ලකුණු සාමාන්‍ය වෙන්නෙ 223 ක්. දෙවෙනි ඉනිමේ ලකුණු සාමාන්‍ය 191 ක්. හොදම හඹාගොස් ජයග්‍රහණය විදියට සැලකෙන්නේ ලකුණු 285 ක්. එ් වගේම සාජා ක්‍රීඩාංගණයේ විශාලම ජයග්‍රහණය විදියට ඉන්දියාවට එරෙහිව ලංකාව ලකුණු 254 කින් ජයග්‍රහණය කිරීම.
ලංකාව සාජා පිටියේදී පාකිස්තානය එක්ක එක්දින තරඟ 35 කදී මුහුණට මුහුණ හම්බෙලා තියෙනවා. හැබැයි තරඟ 12 ක් විතරයි ලංකාවට දිනන්න පුළුවන් වෙලා තියෙන්නෙ. එක තරඟයක් විසදුමක් නැතුවම නිමා වුනා. තරඟ 22 ක්ම ජයග්‍රහණය කරන්න පාකිස්තානය සමත්වුනා. ලංකාව සාජා වල සහභාගී වුන තරඟ 78 න් 29 ක් දිනලා තියෙනවා. කොහොම වුනත් මේ කරුණු දිහා බැලුවම පේන්නෙ පාකිස්තානය අද පිටියේ වැඩි වාසියක් තියෙනවා කියලයි.