ඔබට මතකද? පුංචි කාලේ ඔබ අම්මගේ සාරියක් අරගෙන හොරෙන් ඇඳපු හැටි, ගෙදර කවුරුත්ම නැති අතරේ තාත්තගේ රේසර් එක අරගෙන රැවුල කපපු හැටි. ඔය දේවල් කරන්න ගිහින් සමහරවිට ඔබ ගුටි කන්නත් ඇති. හැබැයි ඇත්තටම ඔබ එදා උත්සාහ කළේ අම්මා, තාත්තා කරන කියන දේවල් අනුකරණය කරන්න.
මිනිසා තරම් අනිත් අයව අනුකරණය කරන්න දක්ශයෙක් මේ ලෝකේ නැහැ. ඒ වෙනුවෙන් තවත් හොඳ නිදසුනක් පෙන්වන්න අද අපි සූදානම්. පසුගිය දිනවල කොළඹදී පැවැති අන්තර් සමාජ ක්‍රිකට් තරගාවලිය අතරතුර බොහෝ දෙනාගේ අවධානය දිනා ගන්නට සමත් වුණේ පොඩි කවපෙත්තා. ක්‍රිකට් වලට ආදරේ කරන ඔබට නම් කවපෙත්තා කියූ සැනින් මතකෙට එන්නේ ශ්‍රී ලංකාවේ සුපිරි පන්දු යවන්නා ලසිත් මාලිංගව. ඔව්, ඇත්තටම ඔහු පන්දු යවන්නේ ලසිත් මාලිංග මෙන් අංශක 45 ක කෝණයකට අත නවමින්. ඒ නිසාම පොඩි කවපෙත්තාගේ පන්දු හමුවේ පිතිකරුවන් ක්‍රීඩා කළේ මහා භීතියකින්.
ඉන් අනතුරුවයි මේ විස්මයජනක පන්දු යැවීම පිළිබඳව සමාජ මාධ්‍ය තුළ විශාල කතා බහක් ඇති වුනේ. ඉතින් සියත 24 අපි මේ පොඩි කවපෙත්තා සොයා ගොස් ඔහු පිළිබදව සහ ඔහුගේ හැකියාව මුලු ලෝකෙටම පෙන්වන්න තීරණය කළා. ඔහුගේ නම නුවන් තුශාර. ජීවත් වෙන්නේ ඇල්පිටියේ. කැලේ පිපුණු මලක් වුණත් හෙට දවසේදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම තුළ ලසිත් මාලිංගගේ අඩුව පුරවන්න අපිට ඇති හොඳම තුරුම්පුව මේ පොඩි කවපෙත්තායි. මේ Video එක නැරඹූ පසු ඔබටත් එහෙම හිතෙයි.
සටහන හා සංවාදය – සජීව ද සිල්වා