තම රටේ මහජන මුදල් ගසා කමින් විශාල ධනයක් තමා සතු කර ගත් ජනාධිපති පුතෙකුට ඔහු සතු යුරෝ කෝටි ගණනක දේපල රාජ සන්තක කරමින් තුන් වසරක සිර දඬුවම් ලැබිලා. ඒ අප්‍රිකානු රාජ්‍යයක් වන ගිනී රාජ්‍යයේ ජනාධිපති පුත්‍රයාට . අප්‍රිකානු කලාපයේ වැඩිම කාලයක් රටක් යටත් කරගෙන සිටින පාලකයා වන එනම් 1979 සිට ගිනී රාජ්‍යය පාලනය කරන වත්මන් ජනාධිපති තියෝඩොර් ඔබියන්ග් එන්ගියුමා එම්බාසොගෝ එකම පුත් 49 හැවිරිදි තියොඩෝරෝ එන්ගියුමා ඔබියන්ග් ය. ජනාධිපති තාත්තා තමන්ගේ පුතාව මීට අවුරුදු දෙකකට කලින් දෙවන උප ජනාධිපති ලෙස පත් කළ අතර ඊට පෙර කෘෂිකර්ම හා වන සම්පත් ඇමති ලෙස කටයුතු කලා.
මේ ජනාධිපති පුත්‍රයාට එරෙහිව ප්‍රංශ අධිකරනය ඉදිරියේ පැවති නඩුවක් පසුගිය සතියේ සිකුරාදා (27) අවසන් කරමින් බරපතල වැඩ සහිත තුන් වසරක සිර දඬුවමක්ද යුරෝ මිලියන 30ක් (රුපියල් කෝටි 54 ) ක දඩයක්ද ප්‍රංශය තුල ඔහු සතු යුරෝ මිලියන 130 ක බැංකු ගිනුම් හා දේපලද රාජ සන්තක කලා. මේ නඩු විභාගයට ජනාධිපති පුත්‍රයා පෙනී හිටියේ නෑ. ඔහු වෙනුවෙන් නීතිඥයෙකු තමයි පෙනී සිටියේ.
ගිනි රාජ්‍යය කියන්නේ 1968 දී ස්පාඤඤයෙන් නිදහස ලබා ගත් මධ්‍යම අප්‍රිකාවේ උතුරින් කැමරූන් හා දකුණින් ගැබොන් රාජ්‍යයට මායිම්ව වර්ග කි:මී: 28,000 ක් විශාල අප්‍රිකාවේ බටහිර සීමාවෙන් අත්ලන්තික් සාගරයට මායිම්ව පිහිටි බොර තෙල්, ගෑස්, මෙතනෝල් ගෑස්, කොකෝවා හා දැව සම්පතින් පිරුනු රටක්. ස්පාඤ්ඤ, ප්‍රංශ, පෘතුගීසි ප්‍රධාන භාෂාවන් වු මලාබෝ අගනගරය ලෙස සැලකෙන අප්‍රිකාවේ තුන්වන බොර තෙල් නිශ්පාදනය කරන රට වන අතර දිනකට බැරල් 360,000 ක ධාරිතාවයක් තියෙනවා. තෙල් නිපදවන රටක් වුනත් ගිනි රාජ්‍යය ඉන්නේ මානව සංවර්ධන දර්ශකයට අනුව රටවල් 188 ක් අතුරින් 138 වෙනි ස්ථානයේ.
කොහොම වුනත් ගිනී රටේ මහජන මුදල් අවභාවිතයේ හා දූෂණයට ලක්වී ඇති බවට ජාත්‍යයන්තර ට්‍රාන්ස්පේරන්සි ආයතනය විසින් කළ පැමිණිල්ලක් හේතු කරගෙන හේග් නුවර ජාත්‍යයන්තර අධිකරණයේ හා ප්‍රංශයේ ඉහල අධිකරණයේ නඩු විභාගයක් වසර 2016 දී ආරම්භවූ අතර ප්‍රංශයේ ඉහළ අධිකරණ නියෝගයක් මත ජනාධිපති පුතයා එන්ගියුමා ඔබියන්ග්ට හිමි ප්‍රංශයේ වත්කම් ගැන පරීක්ෂණ ඇරඹුනා. එහි ප්‍රථීපලයක් විදිහට පැරීසියේ ඉතාම මිල අධික ප්‍රදේශයක්වූ පැරිස් කළාප අංක 16 හී රත්තරන් ආලේප කළ නාන කාමරයක්, සිනමා ශාලාවක්, ව්‍යායාම් ශාලාවක්, ඩිස්කො ශාලාවක්, උණු වතුර සම්භාහන තටාකයක්, සැලූන් එකක් ඇතුලත් යුරෝ මිලියන 107 ක් (රුපියල් කෝටි 1150 ක් පමණ ) වටිනා නිවසක්ද, පැරිස් කළාප අංක 16 හි පිහිටි වර්ග මීටර 4000 ක් විශාල හෝටල් මන්දිරයක ඔහුටම වෙන් කළ අති සුඛෝපබෝගී කාමරයක්ද සොයා ගැනීමට හැකිවී තිබිණ. වසර 2004 හා 2011 අතර යුරෝ මිලියන 130 ක මුදලක් ප්‍රංශයේ හා ස්විස් බැංකු වලට බැර කර ඇති බව ද සාක්ෂි සහිතව සොයා ගත්තා.
මේ ජනාධිපති පුත්‍රයාද සුඛෝපබෝගී කාර් වලට ලොල් වුන කෙනෙක්. එය සනාථ කරමින් පැරිස් කළාප අංක 16 හි පිහිටි ඇවනිව් ෆෝස් නමින් හඳුන්වන මාවත අද්දර භූගත වාහන රථ ගාලක ඔහුට අයත් බෙන්ට්ලි, රෝල් රොයිස් පැන්තම්, බෙන්ට්ලි අෂූර්, ෆෙරාරි 590 ජී.ටි.ඕ, ෆෝෂේ කරේරා 980 ජී.ටි, බුගාටි වෙර්යොන්, මැසරාටි එම්.සී 12, මර්සිඩීස් බෙන්ස් මේබැච් 62, යන අති සුඛෝපබෝගී කාර් සමග වාහන 11 ක් සොයා ගැනීමට හැකිවී වුනා. පැරීසියේ පිහිටි ඇවනිව් ෆෝස් නමින් හඳුන්වන මාවත දෙපස ධන කුවේරයන් ජීවත් වන ඔවුන්ට හිමි නිවාස ඇති මාවතක් ලෙස ලෝක ප්‍රසිද්ධය.
ගිනි ජනාධිපති පුතා තාමත් අවිවාහකයි. ඒත් එක එක පෙම්වතියන් සමග ලෝකය වටා සංචාරය කරමින් අති විශාල මුදලක් වියදම් කරන චරිතයක්. පසුගිය කාලයේ ඇමෙරිකානු රූපවාහිණී සුරූපි නිළියක් වූ ෆෝර්ශා විලියම්ස් සමග ඇසුරක් පවත්වා ගෙන සිටි ඔහු වර්තමානයේ ක්‍රිස්ටිනා මිකෙල්සන් නම් සුරූපි ඩෙන්මාර්ක් ජාතික තරුණියක් සමග ගත කරනවා.
ගිනි පුතයාට අමතරව කොන්ගෝ රාජ්‍යයේ ජනාධිපති ඩෙනිස් සාසූ එන්ගියුසෝ හා ගැබොන් රාජ්‍යයේ ජනාධිපති ඔමාර් බොන්ගෝට එරෙහිවද මහජන මුදල් වංචා කිරීම හේතු කොට ප්‍රංශ අධිකරණයේ පරීක්ෂණ ආරම්භ වීමට නියමිතයි. ඉහත ජනාධිපති වරුන්ට අයත් ගොඩනැගිලි බොහෝමයක් ප්‍රංශයෙන් සොයා ගෙන ඇති අතර ඒවා අනුපිලිවෙලින් කොන්ගෝ ජනාධිපතිට අයත් ගොඩනැගිලි 17 ක් හා ගැබොන් ලොක්කාට අයත් ගොඩනැගිලි 35ක් ලෙස හඳුනා ගෙන තියෙනවා. මේ සියලූ දෙනාගේ වත්කම් වෙනුවෙන් ප්‍රංශ නීතිඥ කන්ඩායම් ඉදිරිපත්වී ඇතත් බොහෝ විට ඒ වත්කම්ද ගිනි පුතයාගේ සේම රාජසන්තක වීමේ ඉඩ කඩ පවතිනවා.