News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
12

“හිර ගෙවල්වල ඉන්න අයට පවා මාංචු ගලවලා හෝ ඒවා පිටින් එම අවසන් කටයුතු සඳහා සහභාගී වෙන්න අවස්‌ථාව ලබා දෙනවා. ඒ වුණත් මට එම අවස්‌ථාව පවා ලැබුණේ නැහැ.” – සෝභිත ස්‌වාමීන් වහන්සේගේ ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය වතුරුවිල සුජාත හිමියන් කියන සංවේදී කතාව

1861 Views


“හිර ගෙවල්වල ඉන්න අයට පවා මාංචු ගලවලා හෝ ඒවා පිටින් එම අවසන් කටයුතු සඳහා සහභාගී වෙන්න අවස්‌ථාව ලබා දෙනවා. ඒ වුණත් මට එම අවස්‌ථාව පවා ලැබුණේ නැහැ.” – සෝභිත ස්‌වාමීන් වහන්සේගේ ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය වතුරුවිල සුජාත හිමියන් කියන සංවේදී කතාව

මාදුළුවාවේ සෝපිත හාමුදුරුවන් ජාතියට සමුදීලා නොවැම්බර් අට වැනිදට හරියටම අවුරුදු දෙකක්. උන් වහන්සේ වැඩ හිටිය පන්සල වුනේ කෝට්‌ටේ ශ්‍රී නාග විහාරය. මේ වෙනකොට එම විහාරයේ නායක හාමුදුරුවෝ විදිහට වැඩසිටින්නේ සෝභිත ස්‌වාමීන් වහන්සේගේ ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය වතුරුවිල සුජාත හිමියන්. සෝභිත හිමියන්ගේ අපවත්වීමෙන් දෙවසරකට පස්සේ උන්වහන්සේගේ මතකය අවදිකරන්න වතුරුවිල සුජාත හිමියන් අද සති අන්ත පුවත්පත් සාකච්ඡාවකට එක්වෙලා තිබුනා. මේ තියෙන්නේ උන්වහන්සේ එක්ක කරපු සාකච්ඡාව.

උපුටාගැනීම.

* ස්‌වාමින් වහන්ස… ඔබ වහන්සේ සහ නාග විහාරය අතර සම්බන්ධතාව ගැන අපි මුලින් දැන ගන්න කැමැතියි…

නාග විහාරය කියන්නේ මා පැවිදි වූ තැන. ගරු කටයුතු මාදුළුවාවේ සෝභිත හාමුදුරුවෝ මගේ ආචාර්යයන් වහන්සේ හැටියට, මගේ දිවි ඇතිතාක්‌ මා පිළිගනු ලබනවා. අපි කවුරුත් නොහිතපු අවස්‌ථාවක උන්වහන්සේගේ අපවත්වීම සිද්ධ වෙනවා. ඒ අපවත් වීමෙන් අනතුරුව, මේ ස්‌ථානයේ යම් අධිපතිත්වයක්‌ හිමිවෙනවා නම්, එය හිමිවිය යුත්තේ මා හට බවයි මගේ විශ්වාසය. එයයි සාමාන්‍ය සම්ප්‍රදාය සහ ස්‌වභාවය. ඇත්තටම මේ නාග විහාරයේ පමණක්‌ නොවෙයි, වෙනත් කිසිම තැනක සිද්ධ නොවිය යුතු දෙයක්‌ තමයි, පන්සලේ ක්‍රියාපටිපාටිය බිඳ හෙළීම… ඒ වගේම දායකකාරකාදීන්ගේ අභිමතාර්ථයන්ට පිටුපාලා වැඩ කරන එක. ගරු කටයුතු නායක හාමුදුරුවන් වහන්සේලාගේ නායකත්වය මත මේ විහාරස්‌ථානයේ ජනප්‍රියත්වය ඇතිවුණා…රඳා පැවතුණා. මේ ස්‌ථානය ඒ ලෙසම ඉදිරියට රැගෙන යැමේ ශක්‌තිය පවතින, භික්‌ෂුන් වහන්සේලා අතර, ජ්‍යෙෂ්ඨතම ශිෂ්‍යයන් වහන්සේ මා බව ගරු කටයුතු මහා සංඝරත්නය සේම, සමස්‌ත සතර පේරුවේ දායකකාරකාදීන් මෙන්ම අප දන්නා සියලු රට වැසියන් දන්නා කාරණයක්‌. එසේ වුණාට එසේ නොවුණු කාලයක්‌ ද නාග විහාරයට පසුගිය කාලයේ තිබුණා.

* නාග විහාරය සම්බන්ධයෙන් දැනට නඩු කීයක්‌ විතර තියෙනවාද…?

ඇත්තටම මේ හා බැඳුණු නඩු ගණනාවක්‌ දැනට පවතිනවා. ප්‍රධාන නඩු සහ ඒ හා බැඳුණු නඩු ගණනක්‌ නාග විහාරය සම්බන්ධව දැනට පවතිනවා. අපි කෙදිනකවත් පොලිසි, උසාවි ගානේ ගිය අය නෙමෙයි. එසේ වුවත් මේ ශාසනික කාරණා නිසා අපිට ඒ තැන් වලත් ඇවිදින්න සිද්ධවෙලා තියෙනවා. ගුරුදේව ලොකු හාමුදුරුවන්ගේ අපවත්වීමත් සමඟ එතෙක්‌ මෙතෙක්‌ මේ රටේ තරුණ භික්‌ෂූන් වහන්සේ නමකට විඳින්න සිදු නොවූ ගැහැට ගණනාවක්‌ මට විඳින්න සිදුවුණා. නායක හාමුදුරුවන්ගේ දේහය බලන්න එන්න බැහැ, කියලා නියෝග ගත්තා. ආදාහනයට එන්න බැහැ කියලා නියෝග ගත්තා. තමන්ගේ කෙනෙක්‌ගේ මරණයක්‌ වුණොත් හිර ගෙවල්වල ඉන්න අයට පවා මාංචු ගලවලා හෝ ඒවා පිටින් එම අවසන් කටයුතු සඳහා සහභාගී වෙන්න අවස්‌ථාව ලබා දෙනවා. ඒ වුණත් මට එම අවස්‌ථාව පවා ලැබුණේ නැහැ.

* නාග විහාරයේ තිබූ දේපළ පචා අතුරුදන් වෙච්ච බවට සමහර අවස්‌ථාවලදී ප්‍රකාශ වුණා…?

ඇත්තටම ආයතනයක ප්‍රධානියා නැතිවුණහම, විශේෂයෙන්ම පන්සලක එම තත්ත්වය ඇතිවුණහම ඒ වගකීම් දරන්න ඊළඟ දෙවැනියාට අවස්‌ථාව හම්බු වෙනවා. ඒ අවස්‌ථාව මග හරිමින් පන්සල සතු වටිනා දේවල්, ගරු කටයුතු නායක හිමියන් සතු මිල මුදල් යාන වාහන පවා සමහරුන් අරගෙන ගිහිල්ලා තිබෙනවා. ලොකු හාමුදුරුවන් පරිහරණය කරන ලද රථය ආපසු ගන්න අපිට විවිධ උපක්‍රම යොදන්න සිද්ධ වුණා. මාදුළුවාවේ සෝභිත හාමුදුරුවෝ කියන්නේ නාග විහාරාධිපති වහන්සේ පමණක්‌ නොවෙයි. උන්වහන්සේ ජාතික, ජාත්‍යන්තර සංවිධාන ගණනාවකට නායකත්වය දුන්නා. උන්වහන්සේ නායකත්වය දුන් පන්සල් සාදන ව්‍යපෘති, ගම්මාන නඟාසිටුවන ව්‍යපෘති, නිවාස ව්‍යපෘති ආදී දේවල් ගණනාවක්‌ සිදු කෙරුණේ මේ නාග විහාරය කේන්ද්‍ර කරගෙන. ඒ සියල්ලේ මුදල් හදල් තිබුණේ මේ විහාරස්‌ථානයේ. දේශීය මුදල් වගේම විදේශීය මුදල් මේ විහාරස්‌ථානය සතුව තිබුණා. ඒ සියල්ල අද වෙනකොට පන්සලෙන් බාහිර යම් යම් බලවේග සතුකරගෙන තිබෙනවා.

* ඒ කියන්නේ එම මුදල්, සම්පත් ආදිය රැගෙන ගිය පිරිස්‌ පිළිබඳව ඔබ වහන්සේ දන්නවා…

ඇත්තටම මම ඒ ගැන දන්නවා… ඒ වකවානුව තුළ අපේ පැමිණීම වළක්‌වමින් මේ ස්‌ථානයට අමුතු පිරිසක්‌ ඇවිල්ලා කරපු, කියපු දේවල් අපි දන්නවා. ඇත්තටම වතුරුවිල සුජාත කියන මේ චරිතය ගැන මහා නායක ස්‌වාමීන්වහන්සේ ලා ප්‍රමුඛ මේ රටේ සංඝරත්නය දන්නවා. ,මේ රටේ ජනතාව මා ගැන දන්නවා. ඒ වුණත් යම් පිරිසකට මාව මේ සියල්ලෙන්ම ඉවත් කරන වුවමනාවක්‌ තිබෙන බව පේනවා. ශාසනික ජීවිතය තුළ මෙවැනි අභියෝග රාශියකට මුහුණ දෙන්න මට සිද්ධ වුණා.

* ස්‌වාමින් වහන්ස, නාග විහාරය ඉදිරිපසින් දිවෙන මේ මාර්ගය සෝභිත ස්‌වාමින් වහන්සේ වෙනුවෙන් නම් කර ගන්න තවම ඔබ වහන්සේට බැරි වී තිබෙනවා…

ඇත්තටම අපි ඒ ඉල්ලීම කළේ, උන්වහන්සේගේ පළවැනි ගුණ සමරුව සමඟයි. අපේ බලාපොරොත්තුව වුණේ උන්වහන්සේගේ අපවත්වීමෙන් වසරක්‌ සපිරෙන විට ඒ කර්තව්‍යය ඉටුකරන්නයි. ඒ සඳහා අවශ්‍ය සියලු අනුමත කිරීම් ලැබිලා තිබුණා. වෙන එකක්‌ තබා, උන්වහන්සේගේ නමින් ඉදිකරන පුවරුව පවා සකස්‌ කොට තිබුණා. ඒත් හිටි හැටියේම ඒ කටයුත්ත නතර වුණා. මම හිතන්නේ තවම ඒ කට්‌ටියට කාලය මදිවෙලා ඇති.

* සෝභිත හාමුදුරුවන්ගේ සටන අද අරගෙන යන්න මහා සංඝරත්නය ඉන්නවාද කියන ප්‍රශ්නය හැමෝම අහනවා. ඒ සඳහා අද පෙරමුණ ගෙන සිටින්නේ කවුද …?

මේ රට, ජාතිය අර්බුදයකට ලක්‌වෙන අවස්‌ථාවල සඟ තලය තුළින් හැම විටම නායකත්වය ලැබුණා. ප්‍රධාන නායක නාහිමිවරු මේ සඳහා කටයුතු කරනාකාරය අපි පසු ගිය කාලයේදී දැක්‌කා. අපේ බෙල්ලන්විල විමලරතන නායක හිමියෝ පසුගිය දවස්‌වල බොහොම Rජුව කතාකරන ආකාරය අපි දැක්‌කා. තමන්ගේ ජීවිතය පවා පුජා කරන්න සූදානම් බවට උන්වහන්සේ ප්‍රකාශ කළා. ඒ නිසා අදත් මේ රට වෙනුවෙන්, ජාතිය වෙනුවෙන් කතා කරන්න උගත්, වියත් භික්‌ෂු පරපුරක්‌ සිටින බව අපට කියන්න පුළුවන්. ගරු කටයුතු නායක හාමුදුරුවෝ උන්වහන්සේගේ අපවත්වීමෙන් නතර කරන ලද තැන ඉඳලා නාග විහාරය ඉදිරියට ගෙන යැම තමයි අපෙත් අරමුණ.

* නාග විහාරයට අද නඩු කියන විදිහ දැක්‌කාම දායක කාරකාදීන්ට හිතෙන්නේ ‘අපිටත් වඩා මේ භෞතික දේවල් සඳහා සංඝයා වහන්සේලා රණ්‌ඩු කරනවා ද කියන එකයි…?”

ඇත්තටම අපි මොකටද පන්සල් වෙනුවෙන් නඩු කියා ගන්නේ… ඒක ඇත්තටම අවශ්‍ය නැහැ. ඒත් සමහර දෙනෙක්‌ කරලා තියෙන දේවල් නිසා අපිට නඩුවලට යන්න වෙලා තියෙනවා. පන්සල කියන්නේ ගමට නායකත්වය සපයන ස්‌ථානය. වැඩ සිටින හාමුදුරුවෝ වෙනස්‌ වුණාට පන්සල වෙනස්‌ වෙන්නේ නැහැ. ඒත් අවස්‌ථාවාදී සමහරු දේශපාලනය, කුමන්ත්‍රණ ආදිය කරමින් තරුණ හාමුදුරුවරුන්ට කරදර කරනවා. මේ විවිධ කල්ලි කණ්‌ඩායම් අන්තවාදීව වෙනත් දේවල් ලබා ගැනීමේ අරමුණ සහිතව කරන දේවල් නිසා අපිත් ඒ අයුක්‌තියට අසාධාරණයට එරෙහිව කටයුතු කිරීම උදෙසා අධිකරණයට යන්න අපිටත් සිද්ධ වෙලා තියෙනවා.


News Articles
Latest Videos
Most Popular Post