ජිවිතේ කියන්නේ හැම තත්පරයකම බලාපොරොත්තු වුනේ නැති දෙයක් අපට වෙන තැනක්. හිතුවෙවත් නැති වෙලාවක අපට සිද්ධෙවෙන දේවල් නිසා සමහරු කලකිරෙනවා. ඒ කලකිරීමත් එක්ක තවත් සමහරු එයාලගේ ජිවිතයට සමුදෙන්න තීරණය කරනවා. එත් ඇත්තටම අපි ජිවිතේ වැටුන වෙලාවක, අපිට අපේ ජීවිතයටත් අහියෝග කරන්න පුළුවන් කියලා ඔබට මේ කතාවෙන් තේරුම්ගන්න පුළුවන් වෙයි. මේ කතාව කියන්නේ Motivation.lk ප්‍රධානී භාතිය අර්ථනායක මහතා. ඒ මව්බිම දිනපතා පුවත්පතේ බදාදා FT අතිරේකයට ලියපු ලිපියක් හරහා. සියත 24 වෙත පිවිසෙන ඔබටත් මේ ලිපිය වැදගත් කියලා අපි හිතුවා. ඔබත් මේ ලිපිය කියවලා අවසානයේ ජිවිතයට අභියෝගකරන්න ඉගෙනගන්නවා කියලා අපට විශ්වාසයි.
“ මම ඉන්නේ හොදටම කඩා වැටිලා. රට ගිහින් දුක් විඳලා ගේ දොර හදා ගත්තට පස්සේ මම හිතුවා අමාරුම හරිය ඉවරයි කියලා. ඒත් දැන් තමයි පටන් ගත්තේ.” ඈ දුරකතනයේ එහා කෙලවරින් පිට කලේ ලොකු හුස්මක්. මේ කතා කලේ මම පාසල් කාලයේ ඉදන් හොදින්ම දන්නා තැනැත්තියක්. දෙදරු මවක් මෙන්ම පියකරු තරුණියක් ද වූ ඈ දුන් මේ ආරංචියෙන් මම පළමුව විශ්මයටත්, දෙවනුව කම්පාවටත් පත් වුණා. ජීවිතේ විසිහත් වැනි සැතපුම් කණුව පසුකලා පමණයි, ඇගේ බෙල්ලේ වසා ගැටිති ආශ්‍රිතව මතු වූ පිලිකා රෝග තත්ත්වයක් පිලිබද වෛද්‍ය වාර්තා ඈව මුළුමනින්ම බිද දමා තිබුණා. වේගයෙන් පැතිර යන රෝග තත්ත්වය වලක්වාලීම සඳහා ඈ වහාම මහරගම අපේක්ෂා රෝහල වෙත යොමුවිය යුතුව තිබුණා. එන්නත් මාලාවක් ආරම්භ කල යුතුව තිබුණා. සියල්ලටමත් වඩා ඈ දරුවන් වෙනුවෙන් ජීවත්වන බවට ඇය ඇයටම සහතික විය යුතුව තිබුණා. ශිෂ්‍යත්වය ලියන වයසේ දියණියක්, දෙක වසරේ ඉගෙනුම ලබන පුතනුවන් වෙනුවෙන් ඈ ජීවත්විය යුතුවම තිබුණා.
අද මේ සටහන ලියන්නට ගනිද්දි මට ඈව මතක් වෙන්නට හේතුවක් තිබුණා. ජීවිතය කියන්නේම අරගලයේ මාවතක්. විටෙක එහි කාපට් ඇතිරුවාක් වැනි සුව පහසු බවක් පෙනෙන්නට තිබුණත්, විටෙක ඔබට වැටුනොත් ගොඩ එන්නට බැහැ යැයි හැඟෙන වලවල් ද හමු වෙන්නට පුළුවන්. ඇතැම්විට මෙය කියවන ඔබත් මේ මාවතේ ගමන් කරමින් සිටිය දී රැකියාවේ, ව්‍යාපාරවල දී මෙන්ම අධ්‍යාපන කටයුතු වලදී හෝ වෙනයම් ක්ෂේත්‍රයක දී පිලිකාවක් වගේ වෙලා ගත්ත අනතුරකට ගොදුරු වෙලා ඉන්නවා වෙන්නටත් පුළුවන්. ඇගේ කතාව සටහන් තැබිය යුතු යැයි තීරණය කලේ ඒ නිසාමයි. ජීවිතයේ කවරදාකවත් මුහුණ දීමට සිදු නොවූ ආකාරයේ කරදර බාධක හමුවේ සාමාන්‍ය මිනිසුන් වහා බිද වැටෙනවා. ඔබට මුහුණ දීමට සිදු වී ඇත්තේ ජීවිතයේ කිසි දා මුහුණ නොදුන් අන්දමේ අභියෝගයකට නම්, ඔබ ඊට මුහුණ දිය යුතු වන්නේත් ජීවිතයේ කිසි දා ඔබට නොතිබූ තරමේ ආත්ම ශක්තියකින්. මේ බව ඇයට තේරුම් කරන්න එතරම් අපහසු වූයේ නැහැ. ඈ තේරුම් ගත්තා. තමන්ගේ ජීවිත බිද වැටුණු තැනින් නැගිට්ටවන්න උත්සාහ කරන ඕනෑම කෙනෙක් තේරුම් ගත යුතු කාරණාවත් එයයි. සාමාන්‍ය මිටි පහරකින් නොබිදෙන කළු ගලක් උනත්, කුළු ගෙඩියක් උපයෝගී කරගෙන එල්ල කරන පහරකින් බිදී යන්නට පුළුවන්. ප්‍රශ්නය තිබෙන්නේ අපට ශක්තිය නැතිකමේ නොවෙයි. එවැනි තැන්වලදී භාවිත කල යුත්තේ මිටිය ද, කුළු ගෙඩිය ද යන අවබෝධය නොමැතිකමයි.
ඒ නිසාවෙන්ම මම කියූ අපගේ කතා නායිකාව ඉතා ශක්තිමත් ලෙස රෝගයට මුහුණ දුන්නා. එන්නත් ලැබෙන්න ලැබෙන්න, ඇගේ හිසකේ, ඇහිබැම පවා හැලී ගියා. අසාමාන්‍ය ලෙස ඈ කෘෂ වුණා. ඇඟේ හුස්ම බිදක්හරි ඉතුරුවෙලා තියෙනවනම්, එතකම් බලාපොරොත්තු මරන්න එපා යැයි පලමු දිනයේ මා කල ඉල්ලීමට ඇය ඉතා ශක්තිමත් ලෙස ප්‍රතිචාර දක්වන බව පෙනෙන්නට තිබුණා. ඒ වගේම රෝහල් කාර්‍ය මණ්ඩලය, ඇගේ සැමියා, පවුලේ උදවිය, මිතුරු මිතුරියන් ඈට ධෛර්ය ලබා දෙමින් තිබුණා. හැමටම වඩා ජීවිතයට අනතුරක් උවහොත් සිදු වන්නේ කුමක්දැයි කියන කාරණාව වෙනුවට ඇය ඉදිරියේ තම ඉදිරි ජීවිතයේ කල යුතු දෑ කරන්නේ කෙසේදැයි සුබවාදීව බලන්නට, සැලසුම් කරන්නට උනා. බොහෝවිට භයානක රෝග හමුවේ පමණක් නොවෙයි, ඇතැම් අභියෝග හමු වේ වූවත් අපේ හැකියාව සීමා වෙනවා. නමුත් කල යුතුව තිබෙන්නේ අභියෝග නිසා අපිව සීමා කරගන්නවා වෙනුවට, අපේ හැකියාවෙන් අභියෝග සීමා කිරීමයි. ඇය අද සම්පූර්ණයෙන්ම සුවපත් වූ තරුණියක් බවට පත්ව සිටිනවා.
මිනිසුන් ව්‍යාපාරවල දී බිද වැටෙන්නට පුළුවන්. විභාගවල දී අසමත් වෙන්න පුළුවන්. රැකියාවෙ දි අසාර්ථක වෙන්න පුළුවන්. මොන දේ කොහොම උනත් මනස ඉහළින් තබා ගැනීමයි වැදගත්. ඔබට මනසින් බිද නොවැටී ඉන්න, අසමත් නොවී ඉන්න, අසාර්ථක නොවී ඉන්න පුළුවන් නම්, සාර්ථකත්වයට කොතනින් හරි ගොඩ වෙන්න ඔබට අවස්ථාවක් එනවාමයි. ඔබේ නිවසේ එකවරම විදුලිය විසන්ධි උනා කියලා හිතන්න. අපි ගමන් කල යුත්තේ කොහාට ද? ඇතැම්විට ඇවිලෙමින් තිබෙන ලිප දෙසට. ඇතැම්විට දැල්වෙමින් තිබෙන බුදු කුටියේ පහන දෙසට. ඇයි? අපි ආලෝකය දැල්වීම පිණිස ගිනි පෙට්ටියක්, ඉටි පන්දමක් එතැනින් සොයා ගත හැකි බව දන්නා නිසා. අදුරේ සිර වූ අවස්ථාවල අපි හැමවිටම කරන්නේ ආලෝකය ඇති තැනට ඇදෙන එක. ජීවිතයේ ප්‍රශ්න ජය ගනිද්දිත් කල යුත්තේ එයම තමයි. ඉන්නේ අදුරේ නම් ඔබ බැලිය යුත්තේ, ගමන් කල යුත්තේ ආලෝකය වෙතයි. නමුත් ඇතැම් ප්‍රශ්න ජීවිතයට ආවාම අපි කරන්නේ ඒ ප්‍රශ්නේ මත්තේ නැහෙමින් තවදුරටත් අදුරේ ආගාධයට ඇදී යන එක. නමුත් ක්‍රමය එය නොවෙයි. ක්‍රමයෙන් අඳුර වැටෙද්දි අපි නිවසේ ආලෝකය දල්වනවා වගේ, ජීවිතයේ ප්‍රශ්න කරදර එනවිට දී ආලෝකය දල්වමින් පිලියම් සෙවීමේ හැකියාව අපට තිබෙනවා. ගැටළුව තිබෙන්නේ එය අප තේරුම් ගෙන ඇත් ද කියන කාරණය මතයි.
1914 වර්ෂයේ දී අමෙරිකාවේ නිව් ජර්සි හි වෙස්ට් ඔරේන්ජ් ප්‍රදේශයේ ගින්නක් හට ගත්තා. ඒ පර්යේෂණාගාර සංකීර්ණයක. මේකේ අයිතිය තිබුණේ ලොව ශ්‍රේෂ්ඨතම නව නිපැයුම්කරුවෙකු වූ තෝමස් අල්වා එඩිසන්ට. පර්යේෂණාගාරයේ භාගයක්ම විනාශයට පත්වුණා. පාඩුව වර්තමානයට ගැලපුවොත් ඇමරිකන් ඩොලර් මිලියන 23 කට අධිකයි. 1961 වසරේ රීඩර්ස් ඩයිජෙස්ට් සඟරාවට කතා කරන තෝමස්ගේ පුත් චාල්ස් එඩිසන්, සිය පියා මේ ගින්නට මුහුණ දුන් සංයමය ගැන අපූරු සිහිවටනයක් එක් කර තිබෙනවා. ගිණි දැල් සමගින් අහස උසට නැගෙන දුම්රොටු දෙස බලමින් බැලූ එඩිසන්, “චාල්ස්, පලයන් උඹගේ අම්මාව, උන්දැගේ යහළුවන් වගේම උඹේ යහළුවනුත් එක්කගෙන වරෙන්. සමහර විට මෙහෙම ගින්නක් උඹලගේ ජීවිත කාලේ ඇතුලේ ආයේ දකින්ඩ නැති වෙන්ඩ පුළුවන්.” යැයි කියූ බව ඔහු සිහිපත් කරනවා. පසු දිනයේ දී සුන්බුන් ගොඩ ඉදිරියේ සිටගත් එඩිසන් “ ඇති යන්තම්, අසාර්ථක වෙච්ච පර්යේෂණ වාර්තා ටිකත් සියල්ල ගිනි ගත්තා. මට දෙයියනේ කියලා අලුතින් වැඩ පටන් ගන්න පුළුවන්” පැවසූ බව මාධ්‍ය වාර්තා කලා. නැවත පර්යේෂණාගාරයේ වැඩ ආරම්භ කල එඩිසන් ඇතුළු සේවකයින් දෙගුණයක් කාලය වෙහෙස වී වැඩ කල බවත්, එම වසරේ දී ඩොලර් මිලියන 10 ක වාර්තාගත ලාභයක් වාර්තා කල බවත් මාධ්‍ය වාර්තා පවසනවා.
මිටියෙන් ගහලා කළු ගලක් කඩන්න බෑ කියන එකේ අදහස කුළු ගෙඩි පහරකින් ඒක බිදෙන්නේ නෑ කියන එක නෙවෙයි. මිටියෙන් ගහන්න ඕනේ තැන දි මිටියෙන් ගහන්න වගේම, කුළු ගෙඩියෙන් ගහන්න ඕනේ තැන දි කුළු ගෙඩියෙන් ගහන්න ඔබට පුළුවන් වෙන්න ඕනේ. ඒ වගේම ඔබේ මනසේ ඔය ඕනෑම බාධකයක් බිදින්න තරමේ කුළු ගෙඩියක ජවයක් පවතිනා බව තේරුම් ගන්නට ඔබට හැකි නම්, ඔබ හමුවේ බිදී නොයන බාධකයක් සොයා ගන්නටවත් අපට නොහැකි වේවි.
භාතිය අර්ථනායක
අභිප්‍රේරක/ පුද්ගල හැකියා සංවර්ධන පුහුණුකරු.