තිසරගේ නායකත්වයෙන්, සුපිරි ප්‍රහාරකයෝ දෙදෙනා යළි ශ්‍රී ලංකා කණ්ඩායමට.
2772 Views
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට සුළි සුළං, කුණාටු එන්න පටන් ගත්තේ මේ අවුරුද්දේ මුල ඉඳලමයි. ඒ නිසාම ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ කිහිපදෙනෙක් අතරෙම නායකත්වයේ කටු ඔටුන්න මාරු වුණා. අවුරුද්ද ඉවර වෙන්න ඔන්න මෙන්න තියෙද්දී ශ්‍රී ලංකා කණ්ඩායමේ එක්දින හා පන්දුවාර විස්ස නායකයා ලෙස පත්වීම ලැබුනේ තිසර පෙරේරාට. බොහෝ ක්‍රීඩා විචාරකයෝ මේ තිරණය ගැන පුදුම වුණා. හැබැයි ලංකාවේ 22 වැනි එක්‌දින නායකයා විදිහට තිසර පෙරේරාට උසස් වීම ලැබුනේ ඉන්දියාව එක්ක තියෙන එක්‌දින තරග තුන සහ විස්‌සයි විස්‌ස තරග තුන සඳහා විතරයි. මේ තරගාවලියේදී ඔහු දක්‌වන දක්‍ෂතා මත නායකත්වය ස්‌ථිර වීම හෝ අස්‌ථිර වීම රඳා පවතිනවා කියලයි ක්‍රිකට් ආයතන ප්‍රකාශකයකු කිවුවේ.
‘එක්‌දින පිලේ නායකත්වය ලැබීම සතුටක්. කණ්‌ඩායමට සියයට දෙසීයකින් යුතුකම් ඉටුකරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම කණ්‌ඩායමේ සියලුම ක්‍රීඩකයන් මට සහයෝගය ලබාදෙයි කියලා විස්‌වාසයි. ඉන්දියාවට එරෙහිව පළමු එක්‌දින තරගය ජයගෙන එතැනින් ඉදිරියට යන්න උත්සාහ කරනවා” කියලයි ඊයේ පැවැති මාධ්‍ය හමුවේදී අලුත් නායකයා කිවුවේ.
මේ අවුරුද්දේ ලංකාව සහභාගි වූනු එක්‌දින තරග 26 න් තරග 21 ක්‌ම පරාජය වූනා. ඒ එක්‌දින තරග 26 ඇන්ජලෝ මැතිව්ස්, උපුල් තරංග, ලසිත් මාලිංග සහ චාමර කපුගෙදර කියන නායකයන් හතරදෙනා යටතේයි පැවැත්වුනේ. මේ අවුරුද්දේ විතරක් ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්‌දින තරග මෙහෙයවන පස්‌වැනි නායකයා තමයි තිසර පෙරේරා.
නාරංගොඩ ලියනආරච්චිගේ තිසර චිරන්ත පෙරේරා හෙවත් තිසර පෙරේරා මරදාන ශාන්ත ජෝශප් විදුහලේ ආදි ශිෂ්‍යයෙක්. හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස් කියන්නෙත් ශාන්ත ජෝශප් විදුහලේ ආදි සිසුවෙක්.
දැන් වයස අවුරුදු 28ක් වෙන තිසර පෙරේරා එක්‌දින තරග 125 කදී අර්ධ ශතක හතක් එක්ක මුළු ලකුණු 1441 ක් ලබා ගෙන තියෙනවා. සාමාන්‍ය 17.57ක්. පන්දු යැවීමේදී තිසර දවා ගත්ත කඩුලු සංඛ්‍යාව 133 ක්.
ඒ වගේම ඉන්දියාව සමඟ පැවැත්වෙන එක්‌දින තරගාවලිය සහ විස්‌සයි විස්‌ස තරගාවලියට අසේල ගුණරත්න, කුසල් මෙන්ඩිස්, කුසල් පෙරේරා සහ ධනුෂ්ක ගුණතිලක එක් කිරීමටත් ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව සුදානම් කියල ක්‍රිකට් ආරංචි මාර්ග වලින් දැනගන්න ලැබෙනවා. ඔවුන් ඇතුලත් ශ්‍රී ලංකා එක්දින සංචිතය අද හෝ හෙට ප්‍රකාශට පත්කරාවි.