පහුගිය දවස්වල අපේ රටට බලපෑ අයහපත් කාලගුණික තත්ත්වය නිසා රටේ හැමතැනටම වගේ ගොඩක් හානි සිදුවුණා. මේ ඔකී සුළි කුණාටුවේ බලපෑම ඉවත්වෙලා යද්දී, අන්දමන් දූපත් ආසන්නයේ පවතින වායුගෝලයේ කැළඹිළි සහිත තත්ත්වය ලංකාවට ආසන්නවෙමින් තියෙනවා කියලා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
අඩුපීඩන කලාපයක් විදිහට එය වර්ධනය වීමෙන් පස්සේ ඉන්දියාව දෙසට ගමන් කරනු ඇති බව අපේක්ෂා කරන බව තමයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියන්නේ.
පහුගිය දවස්වල ලංකාවට බලපෑ අයහපත් කාලගුණ තත්ත්වයට හේතු වුන ඔකී සුළි කුණාටුව මේ වෙනකොට තියෙන්නේ දිවයිනට බටහිර දෙසින් කිලෝමීටර 1,600 ක් පමණ ඈතින්. එය තවදුරටත් දිවයිනෙන් බැහැරට ගමන් කරන බව තමයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ.
රාජ්‍ය නිලධාරින්ට අමතරව ත්‍රිවිධ හමුදාවේ සහයෝගය ලබාගෙන අවතැන් කඳවුරුවල සිටි පිරිස් මේ වනවිට යළි සිය නිවෙස් වෙත යාම ආරම්භ කර ඇති බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසන්නේ. දිස්ත්‍රික්ක 16 කට බලපෑ අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පුද්ගලයන් ලක්ෂයකට වැඩි පිරිසක් පීඩාවට පත්වුණා.
ගං වතුර තත්ත්වය පහව යාමත් එක්ක ආපදාවන් ඇති වුන ප්‍රදේශවල ජනතාව බෝවන රෝගවලින් ආරක්ෂා කරගැනීම සඳහා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ද සම්බන්ධ කරගනිමින් විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ.
පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 6කට පවතින නාය යාමේ අවදානම දීර්ඝ කරලා තියෙනවා. අද දිනයේදීත් උතුර, උතුරුමැද, නැගෙනහිර සහ ඌව පළාත්වලට තද වැසි අපේක්ෂා කළ හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ වාර්තාවල දැක්වෙන්නේ.