ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර අවසන් ටෙස්ට් තරඟයේ දෙවෙනි දවස ඊයේ පැවැත්වුණා. ඊයේ තරඟය ගැන මුළු ලෝකයම කතා කරන්න පටන් ගත්තා. එ් ක්‍රිකට් ක්‍රීඩාවට පළවෙනි වතාවට අලුත් මෙවලමක් භාවිතා කරපු නිසා. එ් තමයි ” මුඛ අාවරණ”. තරඟයේ දිවා අාහාරයෙන් පස්සේ නිරෝෂන් දික්වැල්ල හැරෙන්න අනිත් සියලුම ක්‍රීඩකයන් මුඛ අාවරණ පැළදගෙන තමයි පන්දු රැක්කේ. දිල්ලියේ පවතින දුෂිත වාතය තමයි මේකට හේතුව වුණේ.
ලංකාවේ ක්‍රීඩකයන් පන්දු යවන අවස්ථාවේ හැරෙන්න අනිත් හැම වෙලේම පන්දු රැක්කේ මුඛ අාවරණ පැළදගෙන. දිල්ලියේ දුෂිත වායුවෙන් වැඩිපුරම බැට කෑවේ ලංකාවේ වේග පන්දු යවන්නන්. ළහිරු ගමගේට සහ සුරංග ලක්මාල්ට පන්දු යවන්න පවා අපහසු වුණා. එ් නිසා ඔවුන් දෙන්නම පන්දු යවන එක නවත්තලා ක්‍රීඩාගාරයට ගියා. ක්‍රීඩකයන් පත්වෙලා තියෙන අපහසුතාවය ගැන චන්දිමාල් කිහිප සැරයක්ම විනිසුරුවන් දැනුවත් කරා. නමුත් ඔවුන්ගෙන් යහපත් ප්‍රතිචාරයක් ලැබුණේ නෑ.
මේ අතරේ පන්දු යවමින් හිටිය ලක්ෂාන් සඳකැන්ටත් පන්දු යවන්න බෑ කිව්වා. මේ නිසා ලංකාවට පන්දු රකින්නන් 11 ක් නැතුව ලොකු අකරතැබ්බයකට මුහුණ දෙන්න වුණා. ඒ නිසා ලංකාවේ අභ්‍යාසක නික් ලී සහ පන්දු රැකීමේ පුහුණුකරු මනෝජ් අබේවික්‍රම ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් පන්දු රකින්න සූදානම් වෙනවා දකින්න ලැබුණා. එ් අතර වාරයේ අසංක ගුරුසිංහ සහ නික් පෝතාස් ක්‍රීඩාංගණයට අැවිත් විනිසුරුවන්ගෙන් තරඟය නතර කරන්න කියලා ඉල්ලුවා. නමුත් විනිසුරුවන් කිව්වේ එ්ක තරඟයට බාධාවක් නෙවෙයි කියලා. කොහොම වුනත් ඉන්දීය පුහුණුකරු රවී ශාස්ත්‍රීත් පිටියට අැවිත් විනිසුරුවන් එක්ක කතා කරනවා දකින්න පුළුවන් වුණා.
මේ කලබල නිසා තරඟය දෙපාරක්ම අතර මඟ නවත්තල තියන්නත් වුණා. අන්තිමේදී විරාත් කෝලි ඉනිම අත්හිටුවන්න තීරණය කරා. හැබැයි ඉන්දීය ක්‍රීඩකයෝ නම් මුඛ අාවරණ පැළදගෙන හිටියේ නෑ. දිල්ලිය කියන්නේ මේ වෙද්දී සීඝ්‍රයෙන්ම වායු දූෂණය වෙන නගරයක්. නවදිල්ලියේ වායු දූෂණය ලංකාවට වඩා 10 ගුණයකටත් වඩා වැඩී. එ් වගේම ලෝකයේ වැඩිම වායු දූෂණය වෙන රටවල් අතර දෙවෙනි තැන ඉන්නෙත් ඉන්දියාව. ලෝක සෞඛ්‍ය සංවිධානයත් ඉන්දියාව ජීවත් වෙන්න අහිතකර රටක් කියලා අනතුරු අඟවලා තියෙනවා. කොහොම වුනත් මේ වගේ අවධානම් තැනක ටෙස්ට් තරඟයක් පැවැත්වීම කොච්චර සුදුසුද කියලා හිතන්න ඕන.