News Line| Off Air
Generic placeholder image

Dec
17

“ මගේ ගීත ගයන්න එපා ” – වික්ටර් රත්නායක පුතුන් දෙදෙනාට නියෝග කරයි. “සමහර විට මම ඉරාජ් එක්ක ගීතයක් නිර්මාණය කරයි.” – වික්ටර්ගේ පුතෙක් කියයි.

1706 Views


“ මගේ ගීත ගයන්න එපා ” – වික්ටර් රත්නායක පුතුන් දෙදෙනාට නියෝග කරයි. “සමහර විට මම ඉරාජ් එක්ක ගීතයක් නිර්මාණය කරයි.” – වික්ටර්ගේ පුතෙක් කියයි.

නව පරපුරේ සංගීතවේදියකු වන ඉරාජ් වීරරත්න මීට මාස කිහිපයකට කලින් නිර්මාණය කරපු දැණුනා Music Video එක ආන්දෝලනයට පත් වුන Music Video එකක්. ඒකට හේතුව වුණේ මේ Music Video එක ප්‍රවීණ සංගීතවේදී ආචාර්ය වික්ටර් රත්නායකයන්ගේ පෞද්ගලික ජීවිතයේ සමහර සිදුවීම් අඩංගු නිර්මාණයක් කියල ගොඩක් අය කිව්වා නිසා. වික්ටර් රත්නායක මහතාගේ දෙවෙනි විවාහය නිසා ඔහු එක්ක මේ වෙනකොට අමනාපයෙන් පසුවන ඔහුගේ වැඩිමහල් පුත් ජයන්ත රත්නායක පවා මේ Music Video එක සම්බන්ධයෙන් මාධ්‍ය හරහා ඉරාජ්ව දැඩි ලෙස විවේචනයට ලක් කළා.

කොහොම වුනත් ඉරාජ්, මීට දවස් කිහිපයකට කලින් Facebook එකට ඔහු සහ ජයන්ත එකට ඉඳන් ගත්ත Photo එකක් Post කරලා ඒකට කෙටි සටහනක්ද ඇතුළත් කර තිබුණා. ඒ සටහනේ තිබුනේ වික්ටර් රත්නායකගේ පුතණුවන් වන අපේ ජයන්ත රත්නායක අයියාව හමුවුණා අද තිබුණ Event එකකදී. ගොඩක් වටින දේවල් කතා කළා ලාංකීය සංගීතය ගැන යනුවෙන්.

මේ සියලු තොරතුරු අතරේ වික්ටර් රත්නායක මහත්මයා නීතිඥයකුගේ මාර්ගයෙන් ඔහුගේ පුත්තු දෙන්නට එවපු ලියුමක් ගැනත් කසුකුසුවක් සමාජ ජාල වල පැතිරෙනවා. මේ තියෙන්නේ ඒ ගැන ඇත්තම විස්තරය.

* මොකක්ද මේ හිටිහැටියේ වැටුණා කියන තහංචිය?
අපේ තාත්තාගේ ගීත සම්බන්ධයෙනුයි අපට ඒ තහංචිය වැටිලා තියෙන්නේ. තාත්තා නීතිඥයකුගේ මාර්ගයෙන් පසුගිය දවසක අපට ලිපියක් එවලා තිබුණා මටත්, මගේ මල්ලි ලෙලුම්ටත් තාත්තාගේ ගීත මින් ඉදිරියට ගායනා කිරීම තහනම් කරලා.

* ඔය කියන තහනම ඔබේත්, ලෙලුම්ගේත් කලා ජීවිතවලට විශාල බලපෑමක් එල්ල කරාවිද?
මම හිතන්නේ නැහැ එහෙම වේවි කියලා. මොකද අපි මෙච්චර කාලයක් තාත්තාගේ ගීත ගායනා කරලා ‍නෙවෙයි මුදල් හම්බ කළේ. මා ගැන කියනවා නම් මම උත්සව ආදියට සංගීතය සපයන්න සහභාගි වුණාම බොහෝ ගායකයන්ගේ ගීත ගායනා කරනවා. ජෝතිපාල, එම්.එස්. ප්‍රනාන්දු පමණක් ‍නෙවෙයි ජගත් වික්‍රමසිංහ, කසුන් කල්හාර වැනි ගායකයන්ගේ ගීතත් ගායනා කරනවා. මම වික්ටර් රත්නායකගේ පුතා බව දැන ගත්තාම තමයි හුඟදෙනෙක් දිගටම තාත්තාගේ ගීත මගෙන් ඉල්ලන්නේ.

* හිත් අමනාපකම් ඇතිවෙන්න කලින් ඔබ ඔබේ පියාගේ ප්‍රසංගවලට සංගීත අධ්‍යක්ෂණයෙන් දායක වුණා. දැන් ඒවාට සම්බන්ධ නොවීමත් එක්ක ඔබේ ජීවිතේ මොන විදිහේ වෙනසක්ද ඇතිවෙලා තියෙන්නේ?
ඒක මගේ ආර්ථිකයටත් අද වෙද්දී බොහොම තදින් බලපාලා තියනවා. ඉස්සර තාත්තාගේ හැම ප්‍රසංගයක්ම මම තමයි සංගීතවත් කළේ. අපි අතර ඇතිවූ ප්‍රශ්නයෙන් පස්සේ ඔහුගේ ප්‍රසංග මට නොලැබි ගියා. මම මාස 11කින් කිසිම ප්‍රසංගයකට සංගීත අධ්‍යක්ෂණයෙන් දායක වෙලා නැහැ.

* පියාගේ සෙවණැල්ලෙන් මිදිලා වෙනම ගමනක් ගියා නම් අද ඔබට ඔය විදියේ අත්දැකීම්වලට මුහුණදෙන්න සිදුවෙන්නේ නැහැ නේද?
මටත් වුවමනා නම් අද ඉන්න සමහර සංගීතඥයෝ වගේ රැල්ලට යන්න තිබුණා. නමුත් මම කවදාවත් එහෙම කළේ නැහැ. මොකද වික්ටර් රත්නායකගේ පුතා කියන ගෞරවය තියන්නයි මම හැමවිටම උත්සාහ කළේ.

* ඔබ සමග ගත් ඡායාරූපයක් සහ ඔබ සමග කළ සංවාදය පසුගිය දිනෙක ඉරාජ් වීරරත්න ඔහුගේ ෆේස්බුක් ගිණුමට මුදාහැර තිබුණා. ඒ කියන්නේ ඉරාජ් එක්ක ඔබේ තිබුණු හිත් අමනාපකම් දැන් දුරුවෙලා ගිහින්ද?
මම මොකටද ඉරාජ් එක්ක අමනාප වෙන්නේ? ඔහු සමග තරහා වෙන්න මට කිසිම හේතුවක් නෑ.

* ඔබේ පියාගේ කතාව බව හඟවන මියුසික් වීඩියෝවක් මෑතකදී ඉරාජ් නිර්මාණය කළ අවස්ථාවේ ඔබම තමයි මාධ්‍ය ඔස්සේ ඔහුගේ පතුරු හැරියේ. ඒ කියන්නේ එදා ඔබ කළේ බොරුවක්ද?
කිසිසේත්ම නැහැ. මම ඉරාජ් ගැන එදා හිටපු ස්ථාවරයේම තමයි අදත් ඉන්නේ. මම අදත් කියනවා ඉරාජ් කියන්නේ බිස්නස් කාරයෙක් මිස සංගීතඥයෙක් නමෛයි කියලා. ඉරාජ්ලාගේ සංගීතය ගැන මට තිබුණු විවේචනය අදත් වෙනස් වෙලා නැහැ. ඉරාජ් වගේ අය තාක්ෂණය අතින් ඉදිරියෙන් ඉන්නවා. හැබැයි ඔවුන්ගෙන් ක්‍ෂේත්‍රයට කිසිම ගුණාත්මක දෙයක් ලැබෙන්නේ නැහැ. කොටින්ම කියනවානම් ඒ සංගීතයේ මෙලෝ රසයක් නෑ. ඉරාජ් ගත්තොත්, ඔහු ඕනෑම දෙයක් විකුණලා මුදල් හම්බකර ගන්න තමයි බලාගෙන ඉන්නේ. සමහරවිට මා සමග කරපු සංවාදයේ වීඩියෝවෙනුත් ඔහු මුදල් හම්බ කර ගනීවි.

* ඔබ දැන දැනම ඔබත් ඉරාජ්ට අහු වුණාද?
අ‍පොයි නැහැ. ‘අයියේ මම මේක වීඩියෝ කරනවා’ කියලා මට කියලයි ඉරාජ් සහ මගේ සංවාදය වීඩියෝ ගත කර ගත්තේ. ඒක මගේ අවසරය ඇතිව කරපු දෙයක්.

* ඔය විදිහට සංගීතය පැත්තෙන් දෙපිලක සිටියදී ඔබට ඉරාජ් එක්ක ඔයතරම් සුහදතාවක් ඇතිවෙන්න තරම් හේතුව මොකක්ද?
ඉරාජ් එක්ක විතරක් ‍නෙවෙයි මම හැමෝම එක්ක සුහදශීලීව ඉන්න කෙනෙක්. ඉරාජ් වෘත්තීය ජීවිතයේදී කරන දේවල් ගැන මට විවේචනයක් තියෙන බව ඇත්ත. හොරෙක් වුණත් තමන්ගේ ළමයින්ට කන්න අඳින්න දෙන්නනේ හොරකම් කරන්නේ. ඒත් පෞද්ගලික ජීවිතයේදී ඔහු එක්ක තරහ වෙන්න තරම් හේතුවක් මට නැහැ. ඉරාජ් විතරක් ‍නෙවෙයි භාතිය-සන්තුෂ්
ඇතුළුව ඒ පරපුරේ බොහෝ අය මම බොහොම සුහදව ආශ්‍රය කරනවා. ඔවුන් එක්ක මගේ කිසිම පෞද්ගලික තරහක් නැහැ.

* ඉරාජ්ගේ මිසියුසික් වීඩියෝව දැකපු වෙලාවේ සංගීතඥයෙක් විදිහට ‍නෙවෙයි වික්ටර් රත්නායකගේ පුතෙක් විදිහට ඔබට වේදනාවක් දැනුණේ නැද්ද?
තාත්තා ඔහුගේ ගෙදර තිබුණු අපේ ඡායාරූප පවා නගර සභාවේ කුණු ලොරියට විසි කළා කියලා අපට ආරංචි වුණා. ඔහු අපිත් සමග ගත කරපු යටගියාව දැන් සම්පූර්ණයෙන්ම අමතක කරලයි තියෙන්නේ. මොකද එක් කාන්තාවක් විතරයි දැන් ඔහුගේ ලෝකයේ ඉන්නේ. මම, මගේ අම්මා සහ සහෝදර සහෝදරියන් ඔහු වෙනුවෙන් විශාල කැප කිරීම් කරපු බව දැන් ඔහුට අමතකයි. නමුත් තාත්තා අපට මොනදේ කළත් ඉරාජ්ගේ මියුසික් වීඩියෝව දැකපු වෙලාවේ මගේ හිතට විශාල කේන්තියක් ආවා.

* ඉරාජ්ගේ මිසියුක් වීඩියෝව නිසා ඔබටත් යම් යම් අවස්ථාවලදී අමිහිරි අත්දැකීම්වලට මුහුණදෙන්න සිදුවුණාලු නේද?
ඔව්. ඒ වීඩියෝව දැකපු හුඟක් අයත් තාත්තාව විවේචනය කිරීම නවත්වලා ඔහුට අනුකම්පා කරන්න පටන් ගත් බවකුත් පෙනුණා. වික්ටර්ට මෙහෙම වුණේ දරුවෝ සලකපු නැති නිසායි කියලත් සමහරු කියන්න වුණා. අපි අපේ ප්‍රසංගවලට අනුග්‍රාහකයෝ හොයද්දී අපි තාත්තාට සැලකුවේ නැති පුත්තු කියලා සමහර ආයතන අපිව ප්‍රතික්ෂේප කළා. ඒ වගේම තාත්තාට සැලකුවේ නැහැ කියලා ඇතැම් අය අපි එක්ක රණ්ඩු වෙලත් තියෙනවා. මොකද අපි තාත්තාට සලකපු බව හුඟක් අය දන්නේ නැහැ.

* මේ යන විදිහට කවදාහරි ඔබ ඉරාජ් එක්ක වුණත් ගීතයක් නිර්මාණය කරන්න බැරි නැහැ කියලත් සමහරු මුහුණු ‍පොතේ සඳහන් කරලා තිබුණා. ඔබට මොකක්ද ඒ ගැන කියන්න තියෙන්නේ?
ඔව්, එහෙම වෙන්න පුළුවන්. හැබැයි ගීතයේ පද රචනාව සහ සංගීතය මොන වගේද කියලා බලලා ඒ ගීතය මට ගායනා කරන්න සුදුසු විදිහේ එකක් නම් විතරයි මම එවැනි ආරාධනාවක් බාර ගන්නේ.


News Articles
Latest Videos
Most Popular Post