පසුගිය වසර 40 තුළ මෙරට ජනාධිපතිවරුන් පරිහරණය කළ වෙඩි නොවදින රථ 25 ක් ගැඹුරු මුහුදේ ගිල්වා දැමීමට රජය තීන්දු කල බව අපට පහුගිය සතියේ අහන්න ලැබුනා.මේ විදිහට මුහුදේ ගිල්වන රථ අතර මර්සිඩීස් බෙන්ස්, ජගුවර්, ලෑන්ඩ් කෲසර් රථ තියෙනවා. ඡේ. ආර්. ජයවර්ධන, චන්ද්‍රිකා කුමාරතුංග සහ මහින්ද රාජපක්‍ෂ යන ජනාධිපතිවරුන් විසින් තමයි මේ වෙඩි නොවදින රථ පාවිච්චි කලේ.
සාමාන්‍යයෙන් වෙඩි නොවදින රථයක් දිගු කාලයක් පරිහරණය කරන්නේ නැහැ. ඒ වාහනේ බරින් ගොඩක් වැඩි නිසා සහ ඉතා කෙටි කාලයක් තුළ එන්ජිම ක්‍ෂය වෙන නිසා.මේකෙදි කරන්න තියෙන්නේ අලුතින් එන්ජිමක් තියන එක විතරයි. මේක ඉතාම මිල අධික කාරණයක් නිසා වෙඩි නොවදින රථයක් දිගු කලක් පරිහරණය කරන්න බැහැ. රථයේ වීදුරු හැර වෙඩි වැදීමට ඉඩ ඇති සෑම කොටසක්‌ම ආවරණය වන පරිදි ඇතුළතින් High Carbon තහඩු හෙවත් කාබන් සංයුතිය අධික ඝනකම් වානේ තහඩුවලින් තමයි හදල තියෙන්නේ. කාබන් අධික වානේ සංයුතියක් ඇති තවත් ද්‍රව්‍යයක් වන රේල් පීලි උණු කිරීමට ලංකාවේදී බැරි වෙනවා වගේ තමයි, වෙඩි නොවදින රථවල තිබෙන කාබන් අධික වානේ තහඩු, උණු කරන්න බැහැ. ඒවා උණු කරන්න පුළුවන් තාක්‍ෂණ පිටරටවල තිබුණත් ප්‍රවාහන වියදම් වැඩි නිසා, ඒ තහඩු රට පැටවීම පාඩු වැඩක්.
වෙඩි නොවදින රථ වර්ග දෙකක් තියෙනවා. පළමු වැනි ඒවා තමයි වෙඩි නොවදින යුද රථ. දෙවැන්න ඒවා වෙඩි නොවදින VIP කාර්. මේවා වෙඩි නොවදින සිවිල් වාහන ලෙසත් හඳුන්වනු ලබනවා. ඉහත වර්ගයේ වාහන වැඩි වශයෙන් නිපදවනු ලබන්නේ අවුඩි, ලින්කන් ටවුන් කාර්, හුන්ඩායි, BMW මර්සඩීස් බෙන්ස්, බෙන්ට්‌ලි, ජගුවර්, කැඩිලැක් , ටොයෝටා යන සමාගම් විසින්. මේ සමාගම් සියල්ලම විසින් නිපදවනු ලබන වෙඩි නොවදින රථ වලට වඩා සම්පූර්ණයෙන්ම වෙනස් වෙඩි නොවදින රථයක්, ඇමරිකාවේ තියෙනවා.ඒ තමයි ඇමරිකන් ජනාධිපති පරිහරණය කරන රථය. අධි බර දැරිය හැකි ට්‍රක් රථයක චැසිය හා සමාන අධි කාබන් වානේ චැසියක් මත ඉදිකරල තියෙන මේ රථය කැඩිලැක් සමාගමේ නිර්මාණයක්. ඩොලර් කෝටි 1000 ක් දුන්නත් ඒ හා සමාන රථයක් සෑදීමේ ඇනවුම කැඩිලැක් සමාගම භාර ගන්නේ නෑ.
හොඳම තත්ත්වයේ වෙඩි නොවදින රථයක් ඩොලර් ලක්‍ෂයක් හෙවත් මෙරට මුදලින් රුපියල් එක් කෝටි පනස් පන් ලක්‍ෂයක් විතර වෙනවා. ඒ අතර රුපියල් ලක්‍ෂ 15 ටත් වෙඩි නොවදින රථ තියෙනවා. ඒවා පාවිච්චි කරන්නේ ත්‍රස්‌තවාදීන් නොව දාමරික හොරුන් බහුලව ගැවසෙන බ්‍රසීලය වැනි රටවල. මේ සොරුන් අත නවීන අවි නෑ. වැඩිම වුණොත් තියෙන්නේ අත්බෝම්බයක් සහ පිස්‌තෝලයක්. ලංකාවේ එවැනි තත්ත්වයක් පුළුල් විදිහට තාම පැතිරිල නෑ.
ඉතින් මේ වගේ හේතු නිසා අපේ රටේ තියෙන පරණ වෙඩි නොවදින රථ ගඟේ මුහුදේ දැමීම හැර අන් විකල්පයක් බලධාරීන්ට නෑ.