News Line| Off Air
Generic placeholder image

Jan
14

“මම ගායනා කරන්නේ තාත්තාගේ ගීතයක්. පුළුවන් නම් මට නඩු දාන්න කියන්න. මම බය නෑ.” – ජයන්ත රත්නායකගෙන්, වික්ටර් රත්නායකට අභියෝගයක්.

992 Views


“මම ගායනා කරන්නේ තාත්තාගේ ගීතයක්. පුළුවන් නම් මට නඩු දාන්න කියන්න. මම බය නෑ.” – ජයන්ත රත්නායකගෙන්, වික්ටර් රත්නායකට අභියෝගයක්.

ප්‍රවීණ සංගීතවේදී ආචාර්ය වික්ටර් රත්නායකයන් තමන්ගේ ගීත ගායනා කිරීම තහනම් කරමින් තමන්ගේ පුතුන් දෙදෙනාට නීතිඥයකුගේ මාර්ගයෙන් ලිපි යවා ඇති බව මීට සති කිහිපයකට පෙර අපි ඔබට කිව්වා. එත් පහුගිය සතියක තිබුන Reality Show එකකදී ජයන්ත සහ ඔහුගේ සොයුරු ලෙලුම් තමන්ගේ පියාගේ ගිත ගායනා කරන ආකාරය හැමෝටම දැකගන්න ලැබුනා. ඉදිරියේදීත් මේ වැඩසටහනේදී පියාගේ ගීත ගායනා කළොත් ඔවුන් නීතිය ඉදිරියේ වරදකරුවන් වේවිද? ගොඩක් දෙනෙක් මේ ගැන කතා කරන්න පටන්ගත්තා. ඒ ගැන ජයන්ත රත්නායක අද සති අන්ත පුවත්පතකට කියල තිබුනේ මේ විදිහේ කතාවක්.

* Reality Show එකකට ඇවිල්ලා රටටම පේන්න පියාගේ ගීත ගායනා කිරීම නිසා ඉදිරි කාලයේදී ඔබට නීතිමය ගැටලුවක් ඇතිවෙන්න ඉඩ තියෙනවා නේද?
කොහෙත්ම නැහැ. එවැනි කිසිම ප්‍රශ්නයක් ඇති නොවන බව දන්නා නිසයි මම ඒ වැඩසටහනේදී බය නැතුව තාත්තාගේ ගීත ගායනා කරන්නේ.

* ඒ කියන්නේ ඔබ පියාව මුණගැහිලා ඒ ගැටලුව සමථයකට පත් කර ගත්තද? එහෙමත් නැතිනම් ඔහු ඔබට නඩු පවරන එකක් නැහැ කියලා විශ්වාසයක් තියෙනවාද?
ඒ කිසිම හේතුවක් නිසා ‍නෙවෙයි. නීතිඥයකුගේ මාර්ගයෙන් එවලා තිබුණු ලිපියේ සඳහන් කරලා තිබුණේ මින් ඉදිරියට තාත්තාගේ ගීත ගායනා කරන්න එපා කියලා විතරයි. එහෙම ලිපියක් එව්වා කියලා තාත්තාගේ ගීත ගායනා කිරීම අපට තහනම් කරන්න ඔහුට අයිතියක් නැහැ. ඒ නිසා අපට විරුද්ධව තාත්තා නඩු දානතුරු තමයි මමත් මේ බලාගෙන ඉන්නේ.

* කොහොමද ඔය තරම් විශ්වාසයෙන් ඔය දේවල් කියන්නේ?
2013 වසරේදී තාත්තා ඔහුගේ ගීතවල කර්තෘ භාගය ලබාගැනීම ගීත පැවැරීම ඇතුළු සියලු අයිතීන් නීතිඥයෙක් ඉදිරියේ මට ලියා දුන්නා. ඒ නිසා අපට එවපු ලිපිය සම්බන්ධයෙන් මට බයවෙන්න කිසිම හේතුවක් නැහැ.

* තාත්තා තවමත් ජීවතුන් අතර සිටින නිසා අවශ්‍ය නම් දැන් ඔහුට ඒ තීරණය වෙනස් කරන්න පුළුවන් නේද?
ජීවිත භුක්තිය තියාගෙන ‍නෙවෙයි තාත්තා ඔහුගේ ගීතවල අයිතිය මා වෙත පැවැරුවේ. ඒ නිසා මින් ඉදිරියට ඔහු ගායනා කරන ගීතවල අයිතිය විතරක් ‍නෙවෙයි ඒවායේ කර්තෘ භාග පවා හරිනම් අයිති මටයි.

* එතකොට ගීතවල අයිතිය ඔබට පවරපු බව අමතක වෙලාද තාත්තා නීතිඥයකුගේ මාර්ගයෙන් ලිපියක් එවලා තියෙන්නේ?
තාත්තා හොඳටම දන්නවා නඩු දැම්මොත් මොනවාද වෙන්නේ කියලා. ඔහු සමග දැන් සිටින කාන්තාවගේ බලපෑම නිසා තමයි තාත්තා අපට ඒ වගේ ලිපියක් එවලා තියෙන්නේ.

* තාත්තාගේ ගීතවලට ඔබට තිබුණු අයිතියෙන් මෙපමණ කාලයක් හරි හැටි ප්‍රයෝජන ගත්තේ නැහැ කියලා හිතෙන්නේ නැද්ද?
මෙතෙක් කාලයක් මම තාත්තාගේ ගීත විතරක් වේදිකාවේ ගායනා කළේ නැහැ වෙනත් ප්‍රවීණ ගායකයන්ගේ පුත්තු තාත්තලාගේ ගීත ගායනා කරද්දී බොහෝ දෙනා අපෙන් විමසලා තියෙනවා ඇයි අපි තාත්තාගේ ගීත ගායනා කරන්නේ නැත්තේ කියලා. අනික මෙච්චර කාලයක් වෙනත් සමහරු තාත්තාගේ ගීත ගායනා කරද්දිත් මම නිහඬව හිටියා. තාත්තාගේ ගීත ඉදිරියට ගෙනියන්න මමයි මල්ලියි ඉන්න නිසා බයවෙන්න එපා කියලා තමයි මට දැන් රසිකයන්ට කියන්න තියෙන්නේ.

* ඔය කියන විදියට Reality Show එකට තාත්තාගේ ගීත ගායනා කරමින් ඉදිරියට යන්න ඔබට කිසිම බාධාවක් නැද්ද?
ඔව්. මේ සතියේත් මම ගායනා කරන්නේ තාත්තාගේ ගීතයක්. පුළුවන් නම් මට නඩු දාන්න කියන්න. මම බය නෑ.

 – පැවරීමේ ගිවිසුම –

වර්ෂ දෙදහස් දහතුනක් (2013) වූ අගෝස්තු මස 17 වන දින කොළඹදී. මෙහි මින් මතු, පළමු පාර්ශ්වය) යනුවෙන් හඳුන්වනු ලබන අතුරුගිරිය ඔරුවල එගොඩවත්ත අංක 25/ඛි2 හි පදිංචි රත්නායක ආරච්චිලාගේ දොන් වික්ටර් හෙවත් වික්ටර් රත්නායක (ජා.හැ. අංක 420492243ම) එක් පක්ෂයකටද, මෙහි මින් මතු (දෙවන පාර්ශ්වය) යනුවෙන් හඳුන්වනු ලබන මාලඹේ මිහිඳු මාවතේ අංක 32/5 හි පදිංචි ජයන්ත රත්නායක (ජා.හැ. අංක 682210931ම) එක් පක්ෂයකටද බැඳී එම දෙපක්ෂය අතර හට ගන්නා ලද ගිවිසුමේ වගනම්.
එසේ හෙයින් සියලු දෙනාම මෙයින් දත යුතුයි
ඉහත කී පළමු පාර්ශ්වය තමා විසින් තනු නිර්මාණය කරන ලද සහ ගායනය කරන ලද සියලුම ගීත ඕනෑම මාධ්‍යයක භාවිත කිරීම කර්තෘ භාගය එක්රැස් කිරීම සහ එකී නිර්මාණයන්හි නීත්‍යානුකූලව පැවැරුම් කිරීම සහ පාරිශ්‍රමිකයන් ලබා ගැනීම සම්බන්ධයෙන් පළමු පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටීමට හා සියලුම කටයුතු කිරීමේ බලය ඉහත කී දෙවන පාර්ශ්වය වෙත පැවැරීම සම්බන්ධයෙන් මෙම ගිවිසුම හට ගනී.

– ගිවිසුමේ නියමයන් හා කොන්දේසි – 
මෙම ගිවිසුමට එළඹීමට ප්‍රථම ඉහත සඳහන් කරන ලද ගී නිර්මාණ වල සම්පූර්ණ හිමිකාරත්වය තමා සතු බවට පළමු පක්ෂය සහතික වේ.
මෙම ගී නිර්මාණ වල අයිතිවාසිකම් බාහිර කිසිදු පුද්ගලයෙකුට පළමු පක්ෂය විසින් මෙම ගිවිසුමට පෙර පවරා නොමැති අතර මෙම ගිවිසුමෙන් අනතුරුව ඉදිරියේදී එසේ වෙනත් පුද්ගලයෙකුට එම කිසිදු අයිතිවාසිකමක් පැවැරීමට
පළමු පක්ෂය කටයුතු නොකරන බවට එකී පක්ෂය එකඟ වේ.
මෙම ගිවිසුම එළඹීමෙන් අනතුරුව, ඉහත සඳහන් කරන ලද පළමු පක්ෂයේ ගී නිර්මාණ සියලුම ශ්‍රව්‍ය, දෘශ්‍ය මාධ්‍යයෙන් ගුවන් විදුලිය, රූපවාහිනිය, සංයුක්ත තැටි (CD) වීඩියෝ තැටි (DVD) අන්තර්ජාලය දුරකථන ජාලයන්හි සෑම භාවිතයක්ම නාද මාලා (Ring tone) යනාදිය සඳහා පළමු පක්ෂය වෙනුවෙන් පැවැරීමට හා එකී පාරිශ්‍රමිකයන් එක්රැස් කරගැනීමට පළමු පක්ෂය වෙනුවෙන් සියලු කටයුතු කිරීමේ බලය දෙවන පක්ෂය වෙත පැවැරීමට පළමු පක්ෂය එකඟවේ.
තවද ඉහත සඳහන් ගිවිසුමේ නියම හා කොන්දේසි නිසි පරිදි කියවා තේරුම් ගැනීමෙන් අනතුරුව, ඒ සඳහා දෙපක්ෂය ඒ දෙපක්ෂය වෙනුවට සහ ඒ දෙපක්ෂයේ උරුමක්කාර, ‍පොල්මංකාර අද්මිනිස්ත්‍රාසිකාර, බලකාර, ලැබුම්කාරයන් වෙනුවටත් එකිනෙක පක්ෂය සමග මෙයින් වැඩිදුරටත් ‍පොරොන්දුව බැඳුනෝය.
ඊට සාක්ෂි පිණිස ඉහත කී පළමු පක්ෂය හා දෙවන පක්ෂය යන දෙපක්ෂය මෙයින් මෙම වාසගම සහ දිනත් දරන තවත් ලියවිල්ලකටත් වර්ෂ 2013 ක් වූ අගෝස්තු මස 17 වන දින කොළඹදී අත්සන් තැබුවෝය.
සාක්ෂි :
මීට සාක්ෂිකාරයන් වන අප මෙහි අත්සන් කළ දෙපක්ෂය හොඳාකාර අඳුනන බවද ඒ දෙපක්ෂයේ නියම නම්, රක්ෂාවල් සහ පදිංචි ස්ථානත් නිසියාකාර දන්නා බවද මෙයින් සහතික කොට ප්‍රකාශ කරමු.

නීතිඥ අකලංක තරින්ද සේරසිංහ
අංක 30, පාසල් මාවත,
කළුබෝවිල,
දෙහිවල

 

 


News Articles
Latest Videos
Most Popular Post