දළඳා මාලිගාව කියන්නේ ලෝකය පුරා බෞද්ධ බැතිමතුන්ගේ මුදුන් මල්කඩ. අසූ හාර කෝටියක් ශ්‍රී සද්ධර්මය දේශනා කරපු බුදුරජාණන් වහන්සේගේ දන්ත ධාතූන් වහන්සේලා තැන්පත් කරලා තියෙන්නේ මහනුවර දළඳා මාලිගාවේ. අතීතයේ පටන් ලංකාවේ රජවරුන්ගේ පුද සත්කාර දළඳා වහන්සේට ලැබුණා.
අපේ රටේ රාජ්‍යත්වයේ සංකේතය විදියට තමයි දළඳා වහන්සේ සැළකෙන්නේ. එ් නිසා තිස් වසරක යුද්ධයේ අනිටු විපාක වලට මුහුණ දෙන්න දළඳා වහන්සේටත් සිද්ධ වුණා. 1998 ජනවාරි මාසයේ 25. එ් කියන්නේ මීට අවුරුදු 20 කට කලින් අද වගේ දවසක තමයි දළඳා මාලිඟාවට ප්‍රහාරයක් එල්ල වුණේ.
කොටි ත්‍රස්තවාදීන්ගේ මරාගෙන මැරෙන බෝම්බ පුරවපු ලොරියක් මාලිඟාවට කඩා වැදුණා. හරියටම මාලිඟාවේ පිවිසුම් දොරටුව ලඟදී බෝම්බ ලොරිය පුපුරලා යනවා. එ් බෞද්ධ බැතිමතුන් 17 ක ගේ ජීවිත නැති කරලා. තවත් 25 ක පමණ පිරිසක් තුවාල ලබලා.
මේ ප්‍රහාරය නිසා දළඳා මාලිඟාවේ සඳකඩ පහණ, වාහල්කඩ, පත්තිරිප්පුව සහ වළාකුළු බැම්ම අාදී ස්ථාන රැසකට බරපතල හානි සිද්ධ වුණා. ලංකාවේ ලස්සනම සඳකඩ පහණ මුළුමනිනම විනාශ වෙලා ගියා.
එ් කුරිරු ප්‍රහාරය සිද්ධ වෙලා අදට හරියටම අවුරුදු 20 ක්. අදත් ලෝකය පුරාම බෞද්ධ ජනතාව එ් සිදුවීම මතක් කරන්නේ ලොකු දුකකින්.