News Line| Off Air
Generic placeholder image

Feb
19

ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට හතුරුසිංහ වැහෙයි. බංගලාදේශයට නයා පෙන්නයි. (Photo)

1765 Views


ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට හතුරුසිංහ වැහෙයි. බංගලාදේශයට නයා පෙන්නයි. (Photo)

අවසන් T20 තරඟයෙනුත් දැවැන්ත ජයක් ලබා ගන්න සිංහයන්ට පුළුවන් වුණා. සිංහයන්ගේ දැවැන්ත ප්‍රහාරය හමුවේ බංගලි කොටියන් පූස් පැටව් ගානට වැටුණා. අවසන් තරඟයේ ජයත් එක්ක T20 තරඟාවලියේ ජයත් සිංහයන්ට සියතට ගන්න පුළුවන් වුණා.

දනුශ්ක ලකුණු 42 ක් රැස් කරා. ඔහුගේ ඉනිමට 4 පහර 3 ක් සහ දැවැන්ත 6 පහර 2 ක් අැතුලත් වුණා. ඊට පස්සේ පිටියේ එකතු වුණ කුසල් සහ තිසර දැවැන්ත පහරවල් වලින් බංගලියන්ට බැට දුන්නා. දෙවෙනි කඩුල්ලට ඔවුන් දෙදෙනා වේගවත් ලකුණු 51 ක සබඳතාවක් රැස් කරා. තිසර ලකුණු 31 යි. කුසල්ගේ පිටියපුරා විසිරුණ අලංකාර පහරවල් බංගලාදේශ ප්‍රේක්ෂකයන් පවා සතුටින් ඉපිලෙන්න හේතු වුණා. ලංකාවේ නැංගුරම වුන කුසල් ලකුණු 70 ක් රැස් කරා. 4 පහර 6 කින් සහ දැවැන්ත 6 පහර 3 කින් ඔහුගේ ඉනිම වර්ණවත් වුණා.

උපුල් තරංග ලකුණු 25 යි. ලැබුණ කෙටි පන්දු ප්‍රමාණයෙනුත් ලොකු වැඩක් ගන්න දසුන් ශානක සමත් වුණා. පන්දු 11 කදී ලකුණු 30 ක් නොදැවී ලබා ගන්න ඔහුට පුළුවන් වුණා. 4 පහර 5 ක් සහ හයේ පහරකින් ඔහුගේ ඉනිම වර්ණවත් වුණා. පන්දුවාර 20 අවසන් වෙද්දී කඩුලු 4 ක් දැවී ලකුණ 210 ක් ලබා ගන්න ලංකාවට පුළුවන් වුණා. කිසිම බංගලාදේශ පන්දු යවන්නෙක්ට ලංකාවේ ප්‍රහාරයෙන් ගැලවෙන්න බැරිවුණා. අබු ජයේඩ්, මුස්ටාෆිසූර්, සයිෆ්උද්දීන්, සෞම්‍ය සකාර් එක කඩුල්ල බැගින් දවා ගත්තා.

බංගලාදේශයට ලකුණු 211 ක දැවැන්ත ඉලක්කයක් ලැබුණා. හැබැයි ලංකාවේ පන්දු යවන්නන්ගෙන් බේරෙන්න ඔවුන්ට බැරි වුණා. බංගලාදේශයේ පළවෙනි කඩුලු 3 ලකුණු 22 ක් වෙද්දී බිද වැටුණා. තමීම් ඉක්බාල් ලකුණු 29 යි. නායක මහමදුල්ලා තරඟය බංගලාදේශ පැත්තට හරවා ගන්න ලොකු උත්සාහයක් ගත්තා. එ්ත් ඔහුගේ වෑයම සාර්ථක වුණේ නෑ. මහමදුල්ලා ලකුණු 41 කට දැවී ගියා. 4 පහර 4 ක් සහ හයේ පහරක් ඔහුගේ ඉනිමට අැතුලත් වුණා. සයිෆ්උද්දීන් ලකුණු 20 යි. අනිත් කිසිම බංගලි පිතිකරුවෙක්ට සාර්ථක වෙන්න බැරිවුණා.

පිත්තෙන් වගේම පන්දුවෙනුත් දස්කම් පෙන්නන්න දනුශ්කට පුළුවන් වුණා. ඔහු කඩුලු 2 ක් දවා ගත්තා. ෂෙහාන් මදුෂංක කඩුලු 2 යි. අකිල, දසුන්, අමිල, ජීවන් සහ ඉසුරු එක කඩුල්ල බැගින් දවා ගත්තා. පන්දුවාර 18.4 වෙද්දී බංගලි ඉනිම අවසන් වුණා. සියලු දෙනාම දැවී ඔවුන්ට ලබා ගන්න පුළුවන් වුණේ ලකුණු 135 ක් විතරයි.

ලංකාවට ලකුණු 75 ක දැවැන්ත ජයක් ලැබුණා. T20 තරඟාවලියත් 2 – 0 විදියට ජය ගන්න ලංකාවට පුළුවන් වුණා. තරඟයේ වීරයා වගේම තරඟාවලියේ වීරයා වුනෙත් කුසල් මෙන්ඩිස්. කාලයකට පස්සේ සංචාරයකදී ටෙස්ට්, එක්දින සහ T20 තරඟාවලි 3 ම දිනන්න ලංකාවට පුළුවන් වුණා. නිදාගෙන හිටිය සිංහයා දැන් අායෙත් අැහැරිලා ඉන්නේ. සිංහයාගේ ගමන නවත්තන්න දැන් කාටවත් බැරි වේවි.


News Articles
Latest Videos
Most Popular Post