News Line| Off Air
Generic placeholder image

Apr
14

පළමු අලුත් අවුරුදු උත්සවය සැමරුවේ මෙහෙමෙයි…

4952 Views


පළමු අලුත් අවුරුදු උත්සවය සැමරුවේ මෙහෙමෙයි…

සාමාන්‍යයෙන් ඉතිහාසය කොටස් තුනකට බෙදෙනවා. පළමු වැන්න තමයි ප්‍රාග් ඓතිහාසික යුගය. පූර්ව ඓතිහාසික යුගය දෙවැන්නයි. තෙවැන්න ඓතිහාසික යුගයයි. මෙය අපේ මව්බිම හා සසඳා බලන කළ වත්මනට වසර 3,000,000 කට පෙර ප්‍රාග් ඓතිහාසික යුගය. ක්‍රි.පූ. 247 වැන්නේ විජයාවතරණය පූර්ව ඓතිහාසික යුගය ලෙසින් ක්‍රි.පූ. 247 හි බුදුදහම ලක් දෙරනට ගෙන ඒමේ සිට ඓතිහාසික යුගය ලෙසත් සැලකිය හැකියි.
ඇත්තෙන්ම අපේ සිංහළ අවුරුද්ද ප්‍රාග් ඓතිහාසික යුගය දක්වා දිවෙනවා. එය සනාථ කිරීමට කරුණු බොහෝමයක්ම තිබෙනවා.
අපේ රට මිනිස් වාසයෙන් පිරී ක්‍රමයෙන් පුරාණ ගල් යුගය, නවගල් යුගය, ලෝහ යුගය පසුකරගෙන ගොවි යුගයකට පැමිණෙන විට ජනතාව කල්පනා කළේ අපේ පැවැත්ම රැක ගැනීමටත් පාලනයේදී ඇතිවන ගැටළු නිරාකරණය කර ගැනීමටත් රජෙකු සිටියොත් පහසුයි කියලා. ඒ අනුව දින වකවානු නියම කරගෙන රජු සියලු දෙනාගේ එකඟතාවයෙන් තෝරා ගැනීමට සැරසුනා. ඒ සඳහා කාය ශක්තිය, ඤාණ ශක්තිය ඇති පිරිස ඉදිරිපත් වුණා. අවසාන වශයෙන් තම හැකියාවන් ප්‍රදර්ශනය කෙරූ තුන්දෙනෙක් තේරුණා.

පැමිණි විශාල පිරිසෙන් මේ තිදෙනා අවසාන තරගයට පිවිසුනේ ඉසුරු කෝවිල් භූමියේ. ඉසුරු කෝවිල කියන්නෙ අපි හිරු දෙවියන්ට වන්දනා කරපු ස්ථානය. හිරු දෙවොල තමයි මේ නමින් හැඳින්වූයේ. කෙසේ හෝ ඒ ශිල්ප දැක්මෙන් ‘කහළ් සෙත් විවහස්’ කියන ගොවියා ජය ගත්තා. ජනයාගේ එකඟතාව සහ තමාගේ දක්ෂතාවත් උපයෝගි වූ නිසා නිවැරැදි ක්‍රමවේදයකට විනිවිද භාවයෙන් යුතුව සිදු වූ ඒ ක්‍රියාදාමයෙන් මොහුට ‘මහ සම්මත’ යන නම සම්මාන ලෙස ලැබුණි. මිනිස් වාසයෙහි පළමු වරට සිදු වූ එම තේරීම සනිටුහන් වන්නට ‘මනු’ යන නාමයත් එකතු වී ‘මහා සම්මතයෙහි මනු’ යන නාමයෙන් අභිෂේක කරන්නට සූදානම් වුණා. ඒ ඔටුනු පලඳන උත්සවය ඉතා අලංකාර ලෙස සුදසු කාල සීමාවන් වෙන් කරද්දී ලංකාවට අප ඇදහු සූර්ය දිව්‍යරාජයා සෘජුව, ලම්භකව, හිරු රැස් වැටෙන ස්ථානය තෝරා ගත්තා. බක්මහේ ‘අස්විද’ කියන නැකතේ දී තමයි මන්නාරමට මේ ප්‍රථම හිරු රැස් පතිත වන්නේ. ඒ මොහොතේදී අපේ ප්‍රථම රාජප්‍රාප්තිය සිද්ධ වුණා.

ඔය මන්නාරම කියන නම යෙදෙන්නෙත් එහෙමයි. මනුරජ වෙසෙන තැන හෙවත් මනු වසන තැන යන්න තේරුම් සහිතව තමයි එසේ මන්නාරම වන්නේ. ඒ වගේම ප්‍රථම හිරු රැස් හෙළු රැස තමයි හෙළ රැස හෙවත් හිරුගේ රැස් පළමුවෙන් වැටෙන රාශිය නිර්මාණය වන්නේ. එය පසු කලක අපේ අය අගක් මුලක් නැතුව පිටරටින් ආවාය කියාගෙන ‘එළු රැසක්’ අරගෙන එළුවෙකු සංකේත කරගෙන දැන් මේෂ රාශිය කියා භාවිතා කරන්නෙ. මේ අනුව ලබන කොට අපිට පේනවා ජ්‍යෙතිෂයෙහි ආරම්භයත් රාශි බෙදීමත් නැකැත් සැකසීමත් අපේ හෙළයෝ ලොවට දායාද කළ බව. කෙසේ වුවත් මේ ‘ මහ සම්මත මනු’ රජාණන්ගේ රාජාභිෂේකය තමයි අපේ අවුරුද්ද වුණේ. වසරින් වසර ජාතික උත්සවයක් ලෙස අපි බක්මහේ අවුරුද්ද සැමරුවා. ප්‍රථම හිරුරැස් වැටීම පදනම් කරගෙන අලුත් අවුරුද්ද ලෙස එය සිදුකළා. ඒ හැර මේ ජාතික උත්සවය භාරතයෙන් හෝ වෙනත් දේශයකින් හෝ අපට ගෙනත් දාපු, නැතිනම් පැහැරගත් දෙයක් නොවෙයි. මහ සම්මත මනු රජතුමාගේ රාජ්‍ය කාලය ක්‍රි.පූ. 28200 සිට 28146 දක්වා වූ කාලයයි විද්වතුන්ගේ පිළිගැනීම.

සිංහල අවුරුද්දට බොදු මුහුණුවරක් එකතු වූනේ මෙහෙමයි

මුලින්ම කීවා සේ අපේ ඉතිහාසය තුන්වැන්න ආරම්භ වන්නේ ක්‍රි.පූ. 247 වැන්නෙහි ලොවුතුරා අමා මෑණි බුදුපියාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මය අපේ මෘතු භූමියෙහි නිත්‍ය ලෙස මුල් බැසගත් කාලයේ සිට කියලා. එතෙක් අපගේ ජීවිත හා මුල් බැස ගෙන තිබූ අදහස් ආකල්ප, චාරිත්‍ර වාරිත්‍ර සියල්ල මේ නව බුද්ධි ප්‍රබෝධයත් සමඟ මිශ්‍ර වුණා. අද පවතින මත කෙසේ වුණත් අප පිළිගන්නවා නිල වශයෙන් අපට සද්ධර්මය ලැබුනෙ මහා මහින්දා ගමනයෙන් පසුව කියලා. ඒ නිසාම උන්වහන්සේ අපට අනු බුදුවරයාණන් වහන්සේ නමක් වුණා.

අපි හිරුගෙන් පැවත එන, හිරු වන්දනා කළ, හිරුගේ ජීවයෙන් ශක්තිමත් වූ ජාතියක්. එය එසේ නොවේ යැයි කියන තර්කය කිසිවෙකුටවත් ඉදිරිපත් කළ නොහැකියි. අප සෑම කටයුත්තක්ම කළේ හිරු හෙවත් ‘ඉසුරු’ දෙවියන් මුල් කරගෙන. අදත් එය එසේමයි. මොකද? හිරු නොපායන්නට විශ්වය නැති වන හෙයිනි.

අපේ රටේ එතෙක් පැවැති ආගමික හා ජාතික උත්සව සියල්ලටම පදනම වී තිබුනෙ හිරු කේන්ද්‍රගත කරගෙන. නමුත් සැනසිලිවන්ත දහම අපට ලැබීමත් සමඟම අපේ පාලකයා බොදුනුවකු වීම හා බුද්ධිමත් ජනතාවට ගෝචරවීම පදනම් කරගෙන ඒ සියල්ලටම බුදුදහම එකතු වුණා. පවතින හොඳ දේ බුදුරදුන් ජීවමාන කාලයේදීත් ප්‍රතික්‍ෂේප කළේ නැහැ. වැරැදි දේ පැහැර කළා. රුක්ෂ වන්දනාව වෙනුවට බෝධි වන්දනාව එක් වුණා. පරිභෝගික වන්දනා ක්‍රමයක් ගොඩ නැඟුනෙ.

ඒ වගේම අනුබුදු හිමියන්ගේ වැඩම කිරීමෙන් අපේ තිබුණ සාවද්‍ය දේ ඉවත් වී නිවරද්‍ය දේ සමඟ බුදුදහම බද්ධ වුණා. හරියට ‘හදවතයි රුධිරයයි වගේ. ඒ බද්ධවීම තුළින් අපේ ජාතික උත්සව වලට සේම එදිනෙදා කටයුතු වලටත් බුදුදහම ඇතුල් වුණා. සියල්ල ‘හිරු’ කේන්ද්‍ර වීම වෙනුවට සම්බුදුපියාණන් කෙන්ද්‍ර වුණා. ඊට අනුරූපීව අනෙක් චාරිත්‍ර වාරිත්‍ර විධි සැකසුනා. අන්න එහෙමයි මේ දෙක එකට බද්ධ වුණේ.

නව වසරේ උදාව කියලා කියන්නෙ සමස්ත රටේත් රට වැසියාගේත් ජීවිත අලුත් වෙන කාලයයි. අපේ අතින් වුන අතපසුවීම්, හිත් රිදුම්, අමනාපකම් වැරදි, නිවැරදි කරගෙන වැඩිදියුණු කර ගත යුතු, අප විසින් කරගෙන ආ සත් ක්‍රියාවන් තව තවත් වර්ධනය කරගෙන හැඩගස්වා ගන්න මේ කාලය බොහොම වටිනවා. මොකද මිනිස් සිත්වල විතරක් නෙමේ ගහකොළ සතා සිවුපාවා ඇළදොළ ගංඟා මේ සියල්ලේම මේ කාලය වෙනකොට නැවුම් බවකින් යුක්ත වෙනවා. අපි නොදන්නවාට හිරුගේ බලපෑම හා අපේ මුතුන් මිත්තන්ගේ ලේවල ශක්තියයි නිසා අපගේ ජීවිත වලටත් කුමක් දෝ වෙනසක් සිද්ධ වෙනවා.

අපේ සිත්වල තියෙන කවර හෝ අරමුණක් පදනම් කරගෙන හෝ තමාගේ චිත්ත පාරිශුද්ධිය ගොඩනඟා ගැනීම තමයි බෞද්ධයාගේ ඉලක්කය වෙන්නෙ. ඒක තමයි මේ ‘ආමිස – ප්‍රතිපත්ති’ කියලා තියෙන්නෙ. සිත සැනසිලිවන්ත කරගන්න භාවිතා කළ හැකි අරමුණු ආමිසය වනවා. එය උපයෝගි කරගෙන සැනසිල්ල සකසා ගැනීම ප්‍රතිපත්තිය වනවා. එහෙයින් සත්‍ය සැනසිල්ල ලැබෙන්නෙ. ඒ නිසා මේ සිංහල අලුත් අවුරුදු කාලෙ ඊට තිබෙන වැදගත්ම කාලයයි.

නව අවුරුදු උදාවේදී අප සූදානම් විය යුතුයි පසුගිය වසරේදී සිදු වූ සිත් පීඩාවට පත්කරන දෙයින් වෙන් වෙන්නත්, සැනසිල්ලෙ සිත තබාගත හැකි දේ වැඩිදියුණු කර ගැනීමත් එයින් තමාගේ සිත සකසා ගැනීමත්. එයයි සියලු බුදුවරුන්ගේ අනුශාසනය. එසේනම් බෞද්ධයාට මේ කාලය මොනතරම් වටිනවාද? ඇතැම් විට මත්වෙලා පාරේ වැටෙන සංස්කෘතිය ඉවත් කරන්න දැන් කාලය පැමිණිලා නේද?

උපුටා ගැනීම: බුදුසරණ පුවත්පත


News Articles
Latest Videos
Most Popular Post