පිළිකා ලියන්නේ මාරාන්තික රෝගයක්. දවසකට සිය ගණනක් පිළිකා නිසා ලෝකයේ මිය යනවා. පිළිකාවට තාමත් හරි ප්‍රතිකාරයක් හොයා ගන්න බැරි වෙලා තියෙනවා. කාන්තාවන්ට වැළඳෙන පිළිකා වර්ග කිහිපයක් තමයි ගර්භාෂ පිළිකා, පියයුරු පිළිකා සහ ගැබ් ගෙල පිළිකා. ගැබ් ගෙල පිළිකා වලට අපූරු ප්‍රතිකාරයක් හොයාගෙන තියෙනවා.
පියයුරු පිළිකා කළින් හඳුනාගැනීමෙන් හරි වෙලාවට ප්‍රතිකාර කරලා සුව කරන්න පුළුවන්. හැබැයි ගැබ්ගෙල පිළිකා (Cervical Cancer) හා ගර්භාෂගත පිළිකා (Womb Cancer) හඳුනා ගන්න කොට සෑහෙන තරමක් රෝගියාගේ සිරුර අකර්මණ්‍ය වෙන්න පුළුවන්. මේ රස චිකිත්සක (Chemo Therapy) ප්‍රතිකාරය වඩා ආරක්ෂකරියි.
ඒ වුනත් රස චිකිත්සක වලින් පිළිකා සෛල විනාශ කරනවා වගේම අහිංසක නිරෝගී සෛලත් තරමක් විනාශ කරනවා. ජර්මනියේ, ඩ්‍රෙස්ඩෙන් හි පිහිටි අනුකලන නැනෝ තාක්ෂණ ආයතනයේ (Institute For Integrative Nanosciences) විද්‍යාඥයින් මේකට අපූරු ආදේශකයක් සොයා ගත්තා.
ඒ Chemo ඖෂධ ශුක්‍රාණුවක තවරා කාන්තාවන්ගේ ප්‍රජනක පද්ධතිය තුළට යවලා එහි ඇති පිළිකා සෛලවලට කෙළින්ම පහරදී විනාශ කිරීම. මුලින්ම ගෙන එය Chemo ඖෂධයක් වන ඩොක්සොරුබිසින් (Doxorubicin) වල පැය කීපයක් ගිල්වා තියෙනවා. මෙම ඖෂධය පිළිකා සඳහා බහුලව භාවිත කරන්නක්. මෙමඟින් පිළිකා සෛල වර්ධනයවීමට අවශ්‍ය ටොපොයිසෝමරේස් – 2 (Topoisomerase – 2) නමැති එන්සයිමය ශ්‍රාවය වීම නවත්වනවා.
මෙම ඖෂධයෙන් පොඟවාගනු ලැබූ ශුක්‍රාණුව යකඩ අඩංගු ද්‍රවණයකින් ආවරණය කරනු ලබනවා. ඊට පස්සේ මෙම විශේෂිත ශුක්‍රාණුව රෝගී කාන්තාවගේ යෝනි මාර්ගය තුළින් ඇතුළතට විදිනවා. එවිට එය සාමාන්‍ය පරිදි යෝනි මාර්ග දිගේ ගැබ්ගෙල දක්වා පිහිනා යනවා.
ගැබ්ගෙලෙහි හෝ ගර්භාෂයෙහි අදාළ පිළිකා සෛලය වෙතට එය ගමන් කරවීම සඳහා ප්‍රභල චුම්බකයක් රෝගී කාන්තාවගේ උකුල මතින් එහා මෙහා යවමින් අල්ට්‍රා සවුන්ඩ් ස්කෑනරයක් මඟින් නිරීක්ෂණය කරනවා. එමඟින් ශුක්‍රාණුව නිවැරැදි දිශාවට ගමන් කරවා අදාළ පිළිකා සෛලය මතට ඖෂධය සහිත ශුක්‍රාණුව කා වැදීමට සලස් වනවා.
මේ ශුක්‍රාණුවට දවටන ලද ලෝහමය ආවරණය පාද 4 කින් යුක්තයි. එමඟින් පිළිකා සෛලය දැඩිව ග්‍රහණය කර ගන්නවා. ඒ වගේම අදාළ ඖෂධය සෛලය තුළට කා වදින්න උදව් වෙනවා. ඉතා කෙටි කාලයකින් පිළිකා සෛලය මර්දනය වී විනාශ වෙනවා. ශුක්‍රාණුවේ ලෝහමය ආවරණය ඉබේම ශරීරයෙන් පිටතට එනවා.
දැනට ගවයන්ගේ ශුක්‍රාණු යොදා ගනිමින් සිදුකළ පර්යේෂණ ඉතා සාර්ථක වෙලා තියෙනවා. ජර්මානු විශේෂඥ වෛද්‍ය කණ්ඩායම ඉදිරියේදී මනුෂ්‍ය ශුක්‍රාණු ආධාරයෙන් මෙය සාර්ථකව අත්හදා බැලීමට බලාපොරොත්තු වෙනවා.