News Line| Off Air| Games
Generic placeholder image

Sep
4

“එයාට හරියට කේන්ති යනවා, ගෙදර ආවම අපි එක්කත් කතා කරන්නේ නැහැ.” – Match එකක් පැරදුනාම චන්දිමාල්ගේ හැසිරීම ගැන බිරිඳ පළමු වරට හෙළි කරයි.

2732 Views


“එයාට හරියට කේන්ති යනවා, ගෙදර ආවම අපි එක්කත් කතා කරන්නේ නැහැ.” – Match එකක් පැරදුනාම චන්දිමාල්ගේ හැසිරීම ගැන බිරිඳ පළමු වරට හෙළි කරයි.

ක්‍රීඩා ලෝලීන්ගේ ආදරයට උරුමකම් කියන තවත් තරුවක් තමයි දිනේෂ් චන්දිමාල්. ඔහු මේ වනකොට ශ්‍රී ලංකා කණ්ඩායම නිත්‍ය නායකයා විදියට කටයුතු කරනවා. මේ දවස්වල නම් චන්දි ටිකක් නිදහසේ කාලය ගෙවනවා කියලයි ආරංචි. ඒ කොහොම වුණත් ඔහුගේ බිරිඳ පහුගිය දවසක සති අන්ත පුවත්පතකට චන්දිමාල්ගේ අපුරු පුරුදු ගැන හෙළි කරේ මෙන්න මෙහෙමයි.

දිනේෂ් කියනවටද කැමති? චන්දිමාල් කියනවටද?

හැමෝම වගේ මට කතා කරන්නෙ ‘චන්දි’ කියලයි. ඒකට මම කැමතියි. ඒක වඩාත් ලෙංගතුයි කියලයි මට හිතෙන්නෙ.

බිරිඳ කතා කරන්නේ?

එයා නම් කියන්නෙ දිනේෂ් කියලයි. චන්දි කියලා හැමෝම කියන නිසා එයා මට දිනේෂ් කියලා කියන්න ආසලූ. ඒ හැරත් එයාගෙ අම්මගෙ නමත් චන්දි. ඉතින් ඒ නම මට කියන්න එයා කැමති නැහැ.

ඉෂිකා, ඉස්සර අජන්තට ප‍්‍රිය කළ ඔබ, පසු කලෙක දිනේෂ් එක්ක විවාහ වුණා. කොහොමද ඒ ගැන හිතන්නෙ?

ඉස්සර මටත් වඩා මගේ යාළුවෝ තමයි මෙයාට කැමති. ක‍්‍රිකට් ක‍්‍රීඩකයකු එක්ක විවාහවීමේ අරමුණක් මට තිබුණෙ නැහැ. එයාලා හරිම කාර්යබහුල නිසා, හොඳ පවුල් ජීවිතයක් ගත කරන්න බැරි වේවි කියලයි මම හිතුවෙ. නමුත් අහම්බෙන් තමයි මට දිනේෂ්ව හමුවුණේ. අපේ බාප්පාගෙ පුතාගෙ හොඳම යාළුවෙක් මෙයා. ඉස්සර පාඩම් කරනකොට අපි එකට හමුවෙලා තියෙනවා. කොහොම වුණත් එයාට හිත ගියේ එයාගෙ ගතිගුණ නිසයි.

මොන වගේ ගතිගුණ නිසාද?

හරිම අහිංසක, හරිම නිහතමානී කෙනෙක්. ඒ වගේම එයාගෙ පවුලට ලැදි අම්මා තාත්තා ගැන නිතර හිතන, මල්ලිලා ගැන හිතන හොඳ කෙනෙක්. ඒ ගතිගුණ හරි ඉහළයි.

දිනේෂ් ක‍්‍රීඩා කරන තරග විතරද ඔබ නරඹන්නෙ?

දිනේෂ් කණ්ඩායමේ හිටියා හෝ නැතා අපි ක‍්‍රිකට් නරඹනවා. අපේ තාත්තාත් ක‍්‍රිකට්වලට හරිම ලැදියි.

තරගයක් නරඹන්න ටීම් එක පිටියට යන්නත් පෙර ඔබ යනවා කියන්නෙ ඇත්තද?

ඔව්, ඒක නම් ඇත්ත.

දිනේෂ් ගෙදරදි වඩා කැමති මොනවටද?

එයා විවේකයක් ලැබුණ විගස ගෙදර ඉන්න තමයි වඩා කැමති. නිදාගන්න හරි කැමතියි. පැයකින් අවදි කරන්න කියලා නිදාගන්න යනවා. හැබැයි පැය තුනකින්වත් අවදි කරන්න අමාරුයි.

ඒ හැර ගෙදරදි දිනේෂ් තව වෙන මොනවටද කැමති?

ටී.වී. නරඹනවා. එක්කෝ එයාගෙ මල්ලිලාට එන්න කියනවා. නැත්නම් මගෙ එකම අක්කා සහ එයාගෙ සැමියා එනවා. අපි ඒ විදියට එකතු වුණාම දිනේෂ් ලස්සනට සිංදු කියනවා. ජෝතිපාලයන්ගේ ‘ජීවිතේ තරුණ කාලේ’ ගීතයට හරිම කැමතියි. ඒ වගේම අමරදේව ශූරීන්ගෙ ගීත ඔක්කෝටම වගේ කැමතියි. අමරදේව ශූරීන්ගෙ ගීතයක් ගැයීමට පෙර එයා විශේෂ නිවේදනයක් කරලා තමයි එය ගයන්නෙ.

ඒ කිව්වෙ?

‘අප අතරින් නැසී ගිය පණ්ඩිත් විශාරද අමරදේව ශූරීන්ට උපහාර පිණිස මා මෙම ගීතය ඔබ වෙත ඉදිරිපත් කරමි’ කියලා තමයි ගීතය එයා ගයන්නෙ. ඒ තරමටම දිනේෂ් එතුමාට ගරු කරනවා.

මොන ගීතය ද ඔහු වඩා ගයන්නෙ?

‘මින්දද හී සර’. එයා වතාවක අහම්බයෙන් තමයි අමරදේව ශූරීන්ගෙ ගීතයක් ගැයුවෙ. හැමෝම ලස්සනයි කියලා කිව්වා. එදා ඉඳලා අමරදේව ශූරීන්ගේ ගීතවලට දිනේෂ් හරිම ප‍්‍රියයි.

තරගයක් පරාද වෙච්ච දවසට කොහොමද එයා හැසිරෙන්නෙ?

එදාට ගෙදර ආවාම කවුරුවත් එයා අහලකටවත් යන්නෙ නැහැ. තනියම නිහඬව ඉන්න තමයි කැමති. කවුරුවත් කතා කරනවටවත් කැමති නැහැ. දිනේෂ්ගෙ චූටි මල්ලි එදාට දිනේෂ් දිහා කෙළින් බලන්නෙවත් නැහැ. වටෙන් ගිහින් තමයි බලන්නෙ. ඒ වගේ දවසකට එයාට යන කේන්තියේ තරම හැමෝම දන්නවා. එයා නිතරම ආසා කරන්නෙ රටට තරග ජයග‍්‍රහණය ගෙනදීමටයි. තනියම ඉඳගෙන එයා එදා දවසේ කළ වැරදි, ඇයි තරගය පරාජය වුණේ කියලා කල්පනා කරලා අඩුපාඩු හදාගෙන ඊළඟ තරගයට යාම තමයි දිනේෂ්ගෙ ක‍්‍රමය.

පසුගිය කාලයේදී දිනේෂ් වඩාත්ම සතුටු වුණේ?

ඩුබායිවලදී ශ්‍රී ලංකා කණ්ඩායම පාකිස්ථානයට එරෙහිව ටෙස්ට් ජයක් ලබාගත්තා. එදා තමයි එයා ගොඩාක්ම සතුටු වුණේ.

මොන වගේ කෑමද හදලා ඉල්ලන්නෙ?

කිරිකොස්, බලමාළු, හාල්මැස්සන් ව්‍යාංජනය සහ කැකුළු බත්වලට තමයි වැඩිපුරම ආසා කරන්නෙ. නරකකට කියලා තියෙන්නෙ තෙල් කෑමවලට වැඩිපුර ආසයි.

දිනේෂ් ක‍්‍රිකටර් කෙනෙක් නොවුවා නම්?

මම හිතන්නෙ නීතිඥවරයකු වෙන්න තිබුණා.

ඉෂිකා මේ හමුවේදි කියන්න අන්තිමට ඔබට මොනවද කියන්න තියෙන්නෙ?

ඇත්තටම ඉතා හොඳ ගතිගුණ තියෙන සැමියකු ලැබීම ගැන මම වාසනාවන්තයි කියලා හැෙඟනවා. මගේ අම්මා තාත්තාට, අක්කාට එයා එයාගෙ අම්මා තාත්තා මල්ලිලාට වගේම ලැදියි. ඉතිහාස කතාවලට, රජ කතාවලට දිනේෂ් හරිම ආසයි. මගේ අම්මා තාත්තා දෙන්නම විදුහල්පතිවරු ලෙස කටයුතු කළේ. ඉතින් දිනේෂ් තාත්තා එක්ක ඉතිහාසය ගැන කතා කරන්න හරිම ආසයි. දිනේෂ් කියන්නෙ ඇත්තටම මනුෂ්‍යත්වයට වඩා ලැදි හරි අපූරු ගුණාංග තියෙන හොඳ මිනිසෙක්.

සටහන – සඳුන් ගමගේ


News Articles
Latest Videos
Most Popular Post