ආසියාවම බලා සිටින ආසියානු කුසලාන ක්‍රිකට් තරඟාවලිය අද සිට ඩුබායි දේශයේදී පැවැත්වෙනවා. ඒ අනුව අද පළමු තරඟය පැවැත්වෙන්නේ ශ්‍රී ලංකාව සහ බංගලාදේශය අතරයි. මේ වසර මුලදී බංග්ලාදේශය ඇතුළත් තුන්කොන් තරඟාවලිය ජයග්‍රහණය කළ ශ්‍රී ලංකාව, නිදහස් කුසලාන තරඟාවලියේදී බංග්ලාදේශය අතින් දෙවරක්ම පරාජයට පත්වුණා. එම තරඟ දෙකේදී බංග්ලාදේශය වෙනුවෙන් සුපිරි දස්කම් දැක්වූ තමීම් ඉක්බාල්, ශකිබ් අල් හසන්, මෂ්රෆේ මොර්ටාසා, මහමුදුල්ලා සහ මුෂ්ෆිකීර් රහීම් යන ක්‍රීඩකයන් 5 දෙනාම මෙවරත් ආසියානු කුසලාන සංචිතයට ඇතුළත්.ඒ නිසාම මේ තරඟය ගැන ක්‍රිකට් ලෝලීන් ඉතාම උනන්දුවෙන් බලා සිටිනවා.
අද ශ්‍රී ලංකා කණ්ඩායම වැඩි බලාපොරොත්තු තබා තිබෙන්නේ උපුල් තරංග ගැනයි. පසුගිය ජාතික තරඟාවලියේදී පිත්තෙන් දස්කම් දැක්වූ හොඳම පිතිකරුවා උපුල් තරංගයි. දිනේෂ් චන්දිමාල් සහ ධනුෂ්ක ගුණතිලක අබාධයන්ට ලක්වීම නිසා කණ්ඩායමට ඇතුළත් නොවීම අවාසිසහගත තත්ත්වයක්. ඒ වගේම තම කුළුදුල් දරු උපත වෙනුවෙන් ශ්‍රී ලංකාවේ රැදී සිටීම නිසා පළමු තරඟ දෙක අකිල ධනංජයටද අහිමිවීමත් ශ්‍රී ලංකා පිළට අවාසිසහගත බවයි ක්‍රීඩා විචාරකයන්ගේ අදහසයි.
කොහොම වුනත් මේ වෙනකොට ශ්‍රී ලංකාව සහ බංගලාදේශය අතර පවත්වා ඇති එක්දින තරඟ 44න් තරඟ 36ක්ම ශ්‍රී ලංකාව ජයගත් අතර බංගලාදේශය තරඟ 6ක් පමණක් ජයගෙන තිබෙනවා. එමෙන්ම අවසන් එක්දින තරඟ 10 න් 7ක්ම ශ්‍රී ලංකාව ජයගෙන ඇති අතර බංගලියන් ජයගත්තේ තරඟ 2ක් පමණි. වාර්තා එලෙස වුවත් අද තරඟය දෙපිලටම විවෘත එකක් බවයි ක්‍රිකට් විචාරකයන්ගේ මතය.
මෙම තරඟය අද ශ්‍රී ලංකා වේලාවෙන් සවස 5ට ආරම්භ වෙනවා.