ලෝකෙ විවිධාකාර මිනිස්සු ඉන්නවා. මේ ඒ වගේ තවත් අමුතු මනුස්සයෙක්. ඉන්නෙ ලංකාවෙ. ඔහුව මුණගැහෙන්නෙ පුද්ගල සංවර්ධන දේශක සහ ලේඛක කැලුම් වැලිගමට.ඔහු කියපු මේ කතාව ඔබටත් වැදගත් වෙයි කියලා හිතලයි අපි ඔබට කියන්න හිතුවෙ.මේ අරුම පුදුම මනුස්සයට අවුරුදු ගණනක් තිස්සේ ඕන වුණේ ප්‍රභාකරන් හිතන විදිහ හිතන්න.
දශක තුනකට අධික කාලයක් පුරා පැවැති යුද්ධයේදී අපි බොහෝ දෙනෙක් වේලුපිල්ලේ ප්‍රභාකරන් හිතන විදිහට හිතන්න උත්සාහ කළා. අද ඔබ කියවන්නේ වෘත්තීයමය වශයෙන් ප්‍රභාකරන්ගේ මනස කියැවීමේ රාජකාරිය භාරව සිටි එම සුවිශේෂ පුද්ගලයාගේ කතාව. ඔහු ආචාර්ය අජිත් රෝහණ කොළොන්නේ. රාජ්‍ය බුද්ධි සේවයේ පර්යේෂණ අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ සේම පසුකාලීනව බුද්ධි අංශ උපදේශකයෙක්ව සේවය කළ ඔහු ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු අධිකාරියේ සභාපති තනතුර ඇතුළු වෘත්තීය ක්ෂේත්‍ර රැසක සේවය කළ බුද්ධිමතෙක්. වත්මනේදී ශ්‍රී ලංකා පුහුණු සහ සංවර්ධන ආයතනයේ කථිකාචාර්යවරයෙක් වන ඔහු ගණිතය සහ භෞතික විද්‍යාව උදෙසා ප්‍රථම උපාධිය කොළඹ විශ්වවිද්‍යාලයෙන් ලබාගන්නා අතර පසුව ව්‍යාපාර කළමනාකරණ පශ්චාත් උපාධියක් සහ ආර්ථික විද්‍යාව පිළිබඳ පශ්චාත් උපාධියක් ලබාගන්නවා. පසුකාලීනව තුනෙන් පංගුවේ නීතිය නම් ගණිත සංකල්පය පිළිබඳ කළ පර්යේෂණය උදෙසා බි්‍රතාන්‍ය විශ්වවිද්‍යාලයකින් ආචාර්ය උපාධිය හිමිකරගෙන ඇත.
වේළුපිල්ලේ ප්‍රභාකරන් කියැවීම සිද්ධ වුණේ කොහොමද?
ප්‍රභාකරන් ඉතාම කලාතුරකින් ප්‍රසිද්ධියේ කතා කරන්නේ. විශේෂයෙන් මහා වීර දිනයේදී ඔහු කරන ඇත්තම කතාව වෙත අපි විශේෂයෙන් අවධානය යොමු කරනවා. ඔවුන් අන්තර්ජාලයට එහෙම පසුව මුදාහරින්නේ සංස්කරණය කරපු කතාව. බුද්ධි පර්යේෂකයෙක් එම කතාව දිහා බලන්නේ සාමාන්‍ය කෙනෙක් බලන දැක්මෙන් නෙවෙයි. 1991 සිට තමයි මම දන්න විදියට ප්‍රභාකරන් මහා වීර දින කතාව කළේ. ඒ කාලේ සිට එම කතා සහ ඊට පසු සිද්ධ වෙන දේවල් ඔස්සේ ප්‍රභාකරන් තේරුම් ගන්න අප කටයුතු කළා. අපි එහිදී ප්‍රභාකරන් කතාව තුළ නොකියා නමුත් ව්‍යංගයෙන් ඔහුත් නොදැනුවත්වම කියන දේවල් වටහා ගන්න ප්‍රබලව උත්සාහ කරනවා. එසේම ප්‍රභාකරන්ගේ අවස්ථානුකූලව කෙසේ හිතනවාද කියන එක අපි නිරන්තරයෙන් හිතලා වාර්තා සැකසුවා.
ප්‍රභාකරන්ගේ ප්‍රකාශ සහ ඔහු කරන දේවල් අතර පැහැදිලි සම්බන්ධයක් තිබුණා. ප්‍රභාකරන් කරන්න හදන දේවල් ඔහුටත් නොදැනී ඔහුගේ කටින් පිටවුණා. ඒ වගේම ඔහු කිසියම් කෙනෙක්ට ව්‍යංගයෙන් හෝ මරණ දඬුවමක් ක්‍රියාත්මක කළොත් එය වසර කිහිපයකින් හෝ සිදු කිරීම ඔහු කළා. සමහර හමුදා නිලධාරීන් විශ්‍රාම ගිහින් වසර කිහිපයකට පස්සේ පවා ඝාතනය කළා. එය මම දැක්ක ඔහුගේ ප්‍රධානම දුර්වලතාවක්. බුද්ධි පර්යේෂකයන් ප්‍රභාකරන්ගේ කතා, ප්‍රකාශ සහ ප්‍රභාකරන් වෙනුවෙන් ඉදිරිපත් කළ ප්‍රකාශවල නොකියා කියන දේ, ඊට යටින් ඇති න්‍යාය පත්‍රය වටහා ගන්න තමයි පර්යේෂණ කරන්නේ. ඇත්තටම එය විශ්ලේෂණාත්මක චින්තන කාර්යයක්. එය සිදු කළ ආකාරය ගැන මාධ්‍ය ඔස්සේ අදහස් දැක්වීම සුදුසු දෙයක් නොවන නිසා මම ඒ ගැන නොකියා ඉන්නම්. ඒ වගේම අපේ වගේම බුද්ධි පර්යේෂණ අංශයක් කොටි සංවිධානයටත් තිබුණා. ඔවුන්ගේ බුද්ධි අංශයත් සැලකිය යුතු මට්ටමක ශක්තිමත්ව තිබුණා.
එම විශ්ලේෂණ ඔස්සේ ඔබ කියපු කාරණා මොනවාද?
ජනාධිපතිනිය ඝාතනය කිරීමේ සැලැස්මක් තිබෙන බව දන්වමින් මම 1999 දෙසැම්බර් 4 ලිඛිත පර්යේෂණ වාර්තාවක් දුන්නා. ඊට සති දෙකකට පස්සේ ඇයට බෝම්බ ප්‍රහාරයක් එල්ල වෙනවා. ප්‍රභාකරන්ගේ මහාවීර කතාව තුළ එය ව්‍යංගයෙන් කියැවුණු කරුණක් වුණා. අපි කරන්නේ දැනුවත් කිරීම පමණයි. යළිත් පසුපසට ඒ ඔස්සේ ක්‍රියාත්මක වුණාද, නැද්ද? ක්‍රියාත්මක වුණේ කෙසේද? සහ එය සාර්ථක වුණා නම් එහි ප්‍රශංසා ආදිය නැවත ගලා එන්නේ නැහැ. ඒක තමයි බුද්ධි අංශ ක්‍රමවේදය. නමුත් සමහර ක්‍රියාමාර්ග ගනිද්දී අපට වැටහෙනවා මේ දේවල් සිද්ධ වෙන්නේ අපි දුන්න තොරතුරු නිසා කියලා.
ප්‍රභාකරන්ගේ අවසාන කාලයේදී ඔහුගේ ඝාතන ලැයිස්තුවේ හිටිය ප්‍රමුඛයා කවුද?
බැසිල් රාජපක්ෂ මහතා. 2009 වසරේදී ඔහු ඝාතනයට ලක්වෙන්න පුළුවන් බව මම රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂට ලිඛිතව දැනුම් දුන්නා. මොකද 2008 ප්‍රභාකරන්ගේ කතාවේ එය පැහැදිලිව අන්තර්ගතව තිබුණා.
ලක්ෂ්මන් කදිරගාමර් මහතාටත් ඔබ අනතුරු ඇඟවීම් කළා නේද?
පැහැදිලිවම ඔව්. 2001 මහා වීර දින කතාව අනුව ප්‍රභාකරන් ඉතා ඉක්මනින් ඝාතනය කරන්නේ ලක්ෂ්මන් කදිරගාමර් මහතා බව වැටහුණා. කදිරගාමර් මහතාට මරණ තර්ජනයක් තිබෙන බවත්, එතුමා දැනුවත් කරන්න අවස්ථාවක් දෙන්න කියලා මම විදේශ අමාත්‍යාංශ ලේකම් විජේසිරි මහතාට එය දැන්නුවා. ඉල්ලීම කළ දවසේම රෑ මට ඔහු හමුවෙන්න අවස්ථාව දුන්නා. පවතින තර්ජනය ගැන මම ඔහුට පැහැදිලි කළා.
ඔහු ඒ අවස්ථාවේ පැවැසුවේ කුමක්ද?
ඔහුගේ ඇස් දෙකට කඳුළු ආවා. ඔහු මගේ අත් දෙකින්ම අල්ලලා ස්තුති කළා. බල පෙරළියක් සිද්ධ වුණොත් ඔබට යම් සහනයක් තිබෙන බව මම ඔහුට දැන්නුවා. ඊට පසුව ආණ්ඩුව වෙනස් වුණා. රනිල් වික්‍රමසිංහ මහතා අගමැති බවට පත්වෙනවා. නමුත් දවසක් මාව හමුවෙන්න අග්‍රාමාත්‍ය ලේකම් බ්‍රැඩ්මන් වීරකෝන් මහතා එනවා. මොකද මම දැන්වූ මරණ තර්ජනය ගැන රනිල් වික්‍රමසිංහ මහතා දැනගෙන තියෙනවා. ඒ වන විට මන්ත්‍රිවරයෙක් වෙලා ඉන්න ලක්ෂ්මන් කදිරගාමර් මහතා වෙනුවෙන් කළ යුතු දේවල් වීරකෝන් මහත්මයා මගෙන් අහනවා. මම ඉල්ලුවේ ඔහුගේ ආරක්ෂාව කිසිසේත් අඩු කරන්න එපා කියලා.
එම තීරණය සම්බන්ධව සමහර එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රිවරුන් පාර්ලිමේන්තුවේදී පවා විරෝධය පෑවත් අග්‍රාමාත්‍යතුමා ලක්ෂ්මන් කදිරගාමර් මහතාගේ ආරක්ෂාවේ වෙනසක් කරන්නේ නැහැ. 2005 අගෝස්තු 2 වැනිදා මම ලක්ෂ්මන් කදිරගාමර් මහතාට යළිත් ප්‍රබල මරණ තර්ජනයක් ඇතිවිය හැකි බව බුද්ධි අංශ අධ්‍යක්ෂතුමාට ලිඛිතව දැනුම් දෙනවා. නමුත් ඒ අවස්ථාවේ මම ලක්ෂ්මන් කදිරගාමර් මහතාට කෙළින්ම ඒක කියන්නේ නැහැ. ඔහුගේ පෞද්ගලික අංකය මම ළඟ තිබුණත් මට ඒක කියන්න මඟ හැරෙනවා. නමුත් මම එම තොරතුරු විධිමත්ව කළ නිසා එහි වුවමනාවක් තිබුණේ නැහැ. නමුත් අගෝස්තු 12 ඔහු ඝාතනය කරනවා. ඔහුගේ මරණය බලන්න ගිය අවස්ථාවේ මට ඔහුට දුරකථන ඇමැතුමක් දෙන්න තිබුණා නේද කියන දේ සිතට නැඟුණා.
තවත් එවැනි සුවිශේෂ දැනුම්දීම් වුණේ මොනවාද?
2006 වසරේදී ගෝඨාභය රාජපක්ෂ මහතා ඉතාම නුදුරු දිනකදී ඝාතනය කරන්න කොටි සංවිධානය සූදානම් බව මම එවකට හිටිය රාජ්‍ය ආරක්ෂක අංශ උපදේශකයෙක්ට දැන්වූවා. ඒක කොයිතරම් ෂුවර්ද කියලා ඔහු මගෙන් ඇසුවා. මම ලේවලින් අස්සන් කරලා තහවුරු කරන්නම් කිව්වා. ඒක කියලා හරියටම දවස් දෙකකින් පිත්තල හන්දියේ බෝම්බ ප්‍රහාරය සිද්ධ වුණා. මම ඇත්තටම මේවා කියන්නේ සිද්ධි සංසන්දනාත්මකව විශ්ලේෂණය මඟින් මිසක් විශේෂ බලයකින් එහෙම නෙවෙයි. මොකද ප්‍රභාකරන් 2006දී කරන කතාවේ පැහැදිලිවම ඒ කරුණු ව්‍යංගයෙන් අන්තර්ගත වෙලා තිබුණා.
යුදමය තොරතුරු මාධ්‍ය ඔස්සේ වාර්තා කරද්දී නොකළ යුතු දේවල් වශයෙන් ඔබ හඳුන්වන්නේ මොනවාද?
සතුරාට ආවේණික දුර්වලතා, සතුරා නිරන්තරයෙන් නොදැනුවත්ව කරන අත්වැරැදීම්, ඔවුන් නිරන්තරව අනුගමනය කරන ක්‍රියාපටිපාටින්, අප දන්නා නමුත් අපි දන්නා බව සතුරා නොදන්නා කරුණු ආදිය රහසිගතව තියා ගන්න ඕන. ඒ වගේම යුද්ධයක් පවතින විට ජනමාධ්‍ය තවත් වගකීමෙන් කටයුතු කරන්න ඕන කියලා මම හිතනවා.
ඔබ 2013 වසරේදී ප්‍රසිද්ධ ස්ථානයක කරන එක් ප්‍රකාශයක් පසුකාලීනව ඇත්තක් බවට පත්වෙනවා.
ඔව්, මම 2013 අගෝස්තු 6 වැනිදා ඊළඟ ජනාධිපති වන්නේ මෛත්‍රිපාල සිරිසේන මහතා බව ශ්‍රී ලංකා ගිණුම්කරණ ශිල්පීය ආයතනයේ පැවැත්වෙන සම්මන්ත්‍රණයකදී කියනවා. මම හිතන විදියට මෛත්‍රිපාල සිරිසේන මහතාවත් ඊළඟ ජනාධිපති වෙයි කියලා ඒ කාලේ හිතන් ඉන්න නැතිව ඇති. නමුත් මම කළ විශ්ලේෂණවලින් මහින්ද රාජපක්ෂ මහතාට එරෙහි බලවේගය ඔහුගේම කණ්ඩායමෙන් මතුවෙන බව මට පැහැදිලිව පෙනුණා. ඒ කාලේ එතුමාට තිබුණ බලයත් එක්ක මම කියපු කතාව සමහරුන්ට විශ්වාස කරන්න බැරිවුණා.
2020 ගැන ඔබගේ අදහස කුමක්ද?
ඒක ගැන මේ වන විට මට කිව හැකි කෙටිම දේ 2020 ජනාධිපති වෙන්නේ දැනට කරළියේ කතා වෙන කිසිවෙක් නෙවෙයි. අලුත්ම චරිතයක්. මේ ගැන මම ලියපු පොතේ දැනටමත් සඳහන් කරලා තියෙනවා. තවත් එක දෙයක්. අපේ රටේ දේශපාලනය යහපත් ලෙස වෙනස් වෙන්න නම් මිනිස්සු තව තවත් සවිඥානික විය යුතුයි. මොකද රට පාලනය කළ ප්‍රධාන පක්ෂ දෙකම වසර පනහක් තිස්සේ රුපියලේ අගයවත් දශමයකින් වැඩි කරන්න සමත් වෙලා නැහැ. ඔවුන් බලය ගැන පමණමයි හිතන්නේ. එවැනි පාලන ක්‍රම වෙනස් කළ හැක්කේත් මිනිස්සුන්ට පමණයි.