ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අගමැති රනිල් වික්‍රමසිංහ මහතාව පදවියෙන් පහ කර නව අගමැතිවරයා ලෙස මහින්ද රාජපක්ෂ මහතා පත්කිරීමෙන් අනතුරුව පසුගිය සිකුරාදා සිට රට තුළ දේශපාලන තුළ උණුසුම් අර්බුදයක් මතු වී තිබේ.
ඒ සමගම ජනාධිපතිවරයා විසින් ලබන නොවැම්බර් 16 වෙනි දින දක්වා පාර්ලිමේන්තුව කල් දමනු ලැබුවා. පාර්ලිමේන්තුව වහාම යළි කැඳවන මෙන් එක්සත් ජාතික පක්ෂය, දෙමළ ජාතික සන්ධානය, ජනතා විමුක්ති පෙරමුණ සහ ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසය කතානායක කරු ජයසූරියගෙන් ලිඛිතව ඉල්ලීම් කර තිබුණා.
මන්ත්‍රීවරුන් 129 ක් පමණ එම ලිපිවලට අත්සන් තබා ඇති බව වාර්තා වෙනවා. කෙසේ වුවත් මේ අර්බුදයේදී කවර ස්ථාවරයක් ගත යුතු දැයි මෙතෙක් තීරණය කර නැති බව දෙමළ ජාතික සන්ධානය පවසනවා.
විපක්ෂනායක ආර් සම්බන්ධන් මන්ත්‍රීවරයා කියා සිටියේ ඒ පිළිබඳව සාකච්ඡා කිරීම පිණිස සන්ධානයේ මන්ත්‍රීවරුන් අඟහරුවාදා රැස්වන බවයි.
පාර්ලිමේන්තුව කැඳවන ලෙස තමන් කතානායකවරයාගෙන් ඉල්ලීමක් කළේ කිසිදු පාර්ශවයකට සහාය දීම පිණිස නොවන බව ද ඔහු අවධාරණය කළා.