News Line| Off Air
Generic placeholder image

Jan
21

“ලෝකේ ලොකුම නාට්‍ය උළෙලට මගේ නාට්‍යයක් තේරිලා තියෙනවා. මම ලබන මාසේ ඒකට යනවා.” – ජෙහාන් අප්පුහාමි

4021 Views


“ලෝකේ ලොකුම නාට්‍ය උළෙලට මගේ නාට්‍යයක් තේරිලා තියෙනවා. මම ලබන මාසේ ඒකට යනවා.” – ජෙහාන් අප්පුහාමි

ජෙහාන් අප්පුහාමි කියන්නේ නව පරපුරේ ජනප්‍රිය නළුවෙක්. චිත්‍රපට, ටෙලි නාට්‍ය වලටත් වැඩිය ඔහු ගණුදෙණු කරන්නේ වේදිකාවත් එක්ක. ඉතින් ඔහු ගැන අලුත්ම තොරතුරු හොයන, වේදිකාවට ආදරය කරන ප්‍රේක්ෂකයන් වෙනුවෙන් තමයි මේ සටහන. ජෙහාන් මේ කතාබහ කරලා තිබුනේ සති අනත්ත පුවත්පතකට.

* මේ දවස්‌වල වේදිකාවට වැඩි ඉඩක්‌ වෙන්කරල නේද?

මේ දවස්‌වල විතරක්‌ නෙමෙයි මේ තාක්‌ මම වැඩි ඉඩක්‌ දුන්නෙ වේදිකාවට. මේ මොහොත වනවිට “සූකර අසපුව” වේදිකා නාට්‍ය නිසා මා ඇතුළු මගේ නාට්‍ය කණ්‌ඩායම කාර්ය බහුලයි.

* ඔබත් රංගන ශිල්පිනියකත් විතරයි නේද මේ නාට්‍යයට රංගනයෙන් දායක වෙන්නෙ.

ඔව් මමයි ඕෂදී නයනතාරා කියන ශිල්පිනියත් විතරයි මේ නාට්‍යයේ රඟපාන්නෙ.

* මෙච්චර රංගන ශිල්පිනියන් සිටිද්දි මේ සඳහා ඕෂදීවම තෝරා ගත්තේ ඇයි?

අපි දකින හැමෝම නිළියො නෙමෙයි. නිර්මාණයකදි නිළියකගෙ කාර්යභාරය හරියට කරන්නෙ බොහොම ටික දෙනයි. එයින් එක්‌කෙනෙක්‌ විදියට මම ඕෂදීව හඳුනාගෙන තියෙනවා. මේකට සුදුසුම සහ දක්‌ෂම කෙනා ඇය නිසා සූකර අසපුවට මම ඇය තෝරාගත්තෙ.

* දෙන්නෙකුට එකතුවෙලා ප්‍රේක්‌ෂකයන්ට හොඳ පණිවිඩයක්‌ දෙන්න පුළුවන්ද?

හරි දෙයක්‌ කළොත් දෙන්නෙකුට නෙමෙයි එක්‌කෙනෙකුට වුණත් බලන් ඉන්න කෙනෙකුට හොඳ පණිවිඩයක්‌ දෙන්න පුළුවන්. රඟපාන්නෙ අපි දෙන්න විතරක්‌ වුණාට සූකර අසපුව නාට්‍ය කණ්‌ඩායමේ 17 දෙනෙක්‌ ඉන්නවා.

* හදිසියේම විදේශ ගතවෙනව කියලත් ආරංචියි…

ඔව්. ලබන පෙබරවාරි මාසෙ ඉන්දියාවට යනවා.

* හදිසියෙම ඉන්දියාවෙ යන්නෙ විශේෂ හේතුවක්‌ නිසාද?

ඔව්. ලෝකෙ ලොකුම නාට්‍ය උළෙල වන තියටර් ඔලිම්පික්‌ උළෙල මෙවර පැවැත්වෙන්නෙ ඉන්දියාවේ. ඒ සඳහා මගේ නාට්‍යයක්‌ තේරිලා තියෙනවා. ඒ සඳහා තමයි යන්නෙ. දිල්ලියේ සහ කේරලයෙ විශේෂ දර්ශන වාර දෙකකුත් පැවැත්වීමට අවස්‌ථාව උදාවෙලා තියෙනවා.

* ජෙහාන් දැන් නළුවෙක්‌ විදිහට ස්‌ථාවරයි කියල හිතනවද?

නළුවෙක්‌ විදියට ස්‌ථාවර වෙනවට වඩා මනුස්‌සයෙක්‌ විදිහට ස්‌ථාවර වෙන්නයි මම නිතරම උත්සාහ කරන්නෙ. ඒත් නළුවෙක්‌ විදියට මම පිළිගන්න පුළුවන් තැනක ඉන්නවා.

* වේදිකාවට වැඩි ඉඩක්‌ දෙන්නෙ ටෙලි නාට්‍යවලට ආරාධනා නැති නිසාද?

එදා වගේම අදත් මගේ විෂය හැටියට මම සලකන්නෙ වේදිකාව. ඒ නිසා කොහොමටත් මම වැඩි ඉඩක්‌ දෙන්නෙ, කැපවෙන්නෙ වේදිකාවට. ඒ කැපවීම නිසා තමයි මේ ඇගයීම්වලට ලක්‌වෙන්නෙත්. ටෙලි නාට්‍යයකට කථා කළොත් ගිහින් රංගන ශිල්පියෙක්‌ විදිහට මගේ උපරිමය කරනවා ඇරෙන්න ටෙලි නාට්‍ය මට විශේෂ නෑ.

* ෆ්‍රන්ජිපානිවලින් පස්‌සෙ සිනමාවෙ වැඩක්‌ ලැබුණෙත් නෑ නේද?

එහෙම දෙයක්‌ නෑ. ෆ්‍රන්ජිපානිවලින් පස්‌සෙ මට අනුරුද්ධ ජයසිංහගෙ ගින්නෙන් උපන් සීතල චිත්‍රපටයටත්, උපාලි ගම්ලත්ගේ ගුරු ගීතය චිත්‍රපටයටත් අමිත්ගේ ජමිලා චිත්‍රපටයටත් සම්බන්ධ වෙන්න අවස්‌ථාව ලැබුණා. මේ සිනමා පට තුන අතරින් ගින්නෙන් උපන් සීතල විශේෂයි. මොකද එය නිර්මාණය කරල තියෙන්නෙ රෝහණ විඡේවීර මහතාගේ ජීවන කථාව ඇසුරින් නිසා.

* අලුත් වේදිකා නාට්‍යයක්‌ කරන්න අදහසක්‌ නැද්ද?

මේ අවුරුද්දෙ මැද විතර අලුත් වේදිකා නාට්‍යයක්‌ කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. එය බොහෝ දුරට සංගීතමය වේදිකා නාට්‍යයක්‌ වෙයි. 30 දෙනෙක්‌ විතර මේ සඳහා සම්බන්ධ කරගන්න බලාපොරොත්තු වෙනවා.

* ඔය කියන 30 දෙනාගෙ කණ්‌ඩායම මේ වෙද්දි තෝරාගෙන අවසන්ද?

නැහැ. තාම සාකච්ඡා මට්‌ටමේ තමයි තියෙන්නෙ. ඒත් ප්‍රධාන චරිතය සඳහා සංජීව උපේන්ද්‍රව ගන්නව කියන එක ස්‌ථිර වශයෙන් තීරණය කරල ඉවරයි. අනිත් චරිත ඉදිරි කාලයේ තෝරා ගන්න බලාපොරොත්තු වෙනවා.

* බිරිඳ සහ දරුවන් සමඟ ගෙවන ජීවිතේ මොන වගේද?

ඉතාමත් සුන්දරයි කියන එක තමයි කියන්න තියෙන්නෙ. අවිවේකීකම නිසා මට ඒ අයත් එක්‌ක ගතකරන්න තියෙන කාලය හරිම අඩුයි. ඒත් පුළුවන් හැම වෙලාවෙම මම ඒ තුන්දෙනත් එක්‌ක ඉන්න කාලය වෙන්කර ගන්නවා. බිරිඳ ගයාත්‍රි මිලාගිරිය ශාන්ත පාවුළු බාලිකාවෙ නාට්‍ය හා රංග කලාව පිළිබඳ ගුරුවරියක්‌ ලෙස සේවය කරනවා. ලොකු දුව මරියා දෙක වසරේත්, පොඩිදුව වෙරෝනිකා පෙර පාසල් අධ්‍යාපනයත් ලබනවා.


News Articles
Latest Videos
Most Popular Post