News Line| Off Air
Generic placeholder image

Jan
22

“මේක විහිළුවක් නෙමෙයි. සමහර විට යාළුකම් නැති වෙන වැඩක්.” – දුකාගෙන් සැර තීරණයක්.

675 Views


“මේක විහිළුවක් නෙමෙයි. සමහර විට යාළුකම් නැති වෙන වැඩක්.” – දුකාගෙන් සැර තීරණයක්.

වසන්ත දුක්ගන්නාරාළ ඔබ හඳුනන්නේ දක්ෂ ගීත පද රචකයෙක් විදිහට. කේෂ්ත්‍රයේ ඉන්න අය වගේම ගොඩක් රසිකයොත් ඔහුට කියන්නේ ‘දුකා’ කියල. ‘දුකා’ තමයි පහුගිය සතියේ කසාද බැඳපු ජනප්‍රිය නළු කාවිංග පෙරේරාගේ මඟුල් කපුකම කරලා තිබුනේ. මඟුල් කපුකම් කරනවාට වඩා තමන්ට ලැබෙන්න තියෙන මුදල් ටික එකතු කර ගත්තොත් හොඳයි කියලා හිතපු දුක්ගන්නාරාළ මේ දවස්වල ඉන්නේ දැඩි තීරණයකට එළැඹිලා. හොඳින් බැරිනම් නීතිය හමුවට ගිහිල්ලා හරි තමන්ට ලැබෙන්න තියෙන මුදල් ටික එකතු කර ගන්නවා කියලයි ‘දුකා’ සති අන්ත පුවත්පතකට කියල තිබ්බේ. ඒ මොකටද කියල පහත විස්තරේ කියවලම බලන්නකෝ.

* ඔබ අතින් ලියවුණු ගීතවලට මුදල් නොගෙවා පැහැර හැර සිටින ගායකයන්ට එරෙහිව නීතිය ඉදිරියට යාමට සැරසෙන බව, සඳහන් ඔබේ ප්‍රකාශයක් මේ දිනවල අන්තර්ජාලයේ මුහුණු ‍පොතේ (FB) සැරිසරනවා. හදිසියේම මේ වගේ දැඩි තීරණයකට එළැඹුණේ ඇයි ?
මම පසුගිය 15 වැනිදා තමයි ඔය Post එක දැම්මේ. මාසයක් තුළ මට ලැබිය යුතු මුදල් ලබා නුදුන්නොත් අදාළ අයට එරෙහිව නීතිය ඉදිරියට යනවා. අදාළ පිරිසට පෙබරවාරි 15 වනතුරු කල් තියෙනවා මේ ගනුදෙනු බේරුම් කරගන්න. මේක විහිළුවක් නෙමෙයි. සමහර විට යාළුකම් නැති වෙන වැඩක්.

* කවුද මේ පිරිස ?
දැන්ම නම් සඳහන් කරන්න බැහැ. ඒත් අදාළ අය දන්නවා වැරදිකරුවන් තමන් බව.

* ඒ අය ඔබේ මිතුරෝ නේද?
අ‍පොයි ඔව්, හොඳ යාළුවෝ. ඒ හින්දා තමයි අවුරුදු ගණනක් බලාගෙන හිටියේ. මම මාසයක කාලයක් දෙන බවට මේ විදියට FB එකට දැම්මට මීට කලින් අවුරුදු කීපයක් බලා හිටියා. කීප වතාවක් දුරකථනයෙන් කතා කළා. ඒ වෙලාවට ඒ අය කියන්නේ “හරි හරි ඉක්මනට දෙනවා” කියලා. හැබැයි අද වනතුරු සතයක්වත් දීලා නැහැ.

* සාමාන්‍යයෙන් ගීතයක් නිර්මාණය කරන්නේ අදාළ ගනුදෙනු ගැන කතාබහ කරලනේ. ඔබ කොහොමද මේ අයට ගීත ලියලා දුන්නේ…?
ගීතයකට අයිතිය පිළිබඳ නීතියක් තිබෙනවා. මම ගීතය පවරා දුන්නේ නැත්නම් ඒ ගීතයේ රචකයා විදියට මට ලැබිය යුතු මුදලක් තියෙනවා. නීතිය අනුව මංගල උත්සවයක ගැයුවත් ඒ මුදල හිමිවිය යුතුයි. සමහරු රිංගිං ටෝන්වලට Youtube වලට මාගේ ගීත දාලා කෝටි ගණන් හම්බකරලා තියෙනවා. ඒත් මට ලැබිය යුතු මුදල ලැබිලා නැහැ. ඒ ගැනයි මම මේ කතා කරන්නේ.

* අදාළ පුද්ගලයන්ගේ නම් හෙළි කරන්න කැමැති නැතිනම් ඔබට ලැබිය යුතු මුදල සඳහන් කරන්න කැමැතිද?
ලක්ෂ ගණනකට අධිකයි. කෝටියතට ආසන්නයි.

* ගීත ලියලා ලක්ෂ ගණන් මුදල් හොයනවා. දැන් මඟුල් කපුකමටත් ලොකු ගාණක් අය කරනවා ඇති…?
(හිනැහී) හැමෝම කියනවා අපිටත් මඟුල් කපුකමක් කරලා දෙන්න බැරිද කියලා.. මගේ ලොකු අම්මගේ දුවගේ දුව සනායාට දවසක් කාවිංග අපේ ගෙදරට ආපු වෙලාවක මුණ ගැසුණා. ඒ දවස්වල දුවට විවාහයට කෙනෙක් හොයනවා. ඉතින් මම නිකමට වගේ දෙන්නට දෙන්නව යෝජනා කළා. ඇසුරු කරලා සුදුසු නම් විවාහ වෙන්න කිව්වා. කොහොම හරි ඇසුර දුර ගිහින් විවාහය කෙරුණා. හැබැයි ඉතින් දිගටම මඟුල් කපුකම කරන්න නම් අදහසක් නැහැ.

* ගහේ කටු උල් කරන්න ඕන නැහැලු. දුකාගේ දරුවෝ දෙන්නත් දැන් කලා ලෝකය තුළ දස්කම් පාන්න පටන් අරන් නේද ?
පසුගිය දාක මොස්කව් නුවර පැවැත්වුණ “මොස්කව් ජාත්‍යන්තර නර්තන උළලෙදී” රටවල් 28ක නර්තන කණ්ඩායම් 240ක් අතරින් හොඳම නර්තනය හා නර්තන කණ්ඩායම විදියට සම්මාන හිමි කරගත්තේ නුගේගොඩ ලයිසියම් ජාත්‍යන්තර පාස‍ලේ නර්තන කණ්ඩායමයි. එහි නායකයා මගේ පුතා. (සඳලිඳු) මගේ දුවත් (සඳපිනි) එම නර්තන කණ්ඩායමේ ඉන්නවා. පුතාට දැන් වයස 16යි. එයා කළමනාකරණ අංශයෙන් හදාරන්නේ. දුවට 13යි. එයා සාමාන්‍ය පෙළට සූදානම් වෙනවා. දෙන්නම කලාවට දක්ෂයි. ඒත් මමයි බිරිඳයි ඒ අයට බලපෑම් කරන්නේ නැහැ. අනාගතයේදී කැමැති අංශයකින් ඒ අය ඒ අයගේ ඉදිරිගමන තෝරා ගන්න අපි ඉඩදීලයි තියෙන්නේ.


News Articles
Latest Videos
Most Popular Post